දිනකට මෙරටට පැමිණිය හැක්කේ විදෙස් සංචාරකයින් 500කට පමණක් බවත් එලෙස පැමිණෙන සියල්ලන් පී.සී.ආර්. පරික්ෂණවලට යොමුකර නිරෝධායනය සදහා යොමු කරන බවත් සංචාරක හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පවසනවා.
ගුවන්තොටුපළ යළි විවෘත කිරීම සහ ඊට අනුබද්ධ කටයුතු සම්බන්ධයෙන් ඊයේ පැවැති සාකච්ඡාවකදී අදාළ තීරණවලට එළැඹ තිබෙනවා.
සංචාරක හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පැවසුවේ, එලෙස පැමිණෙන විදෙස් සංචාරකයින් නිරෝධායනය සදහා යොමු කිරීමට මෙරට ලියාපදිංචි හෝටල් 58ක් ක්‍රියාත්මක බවයි.
අදාළ හෝටල් කොරෝනා මර්දන රෙගුලාසිවලට අනුව ක්‍රියාත්මක බව තහවුරුකර ඇතැයි එම අමාත්‍යාංශය නිවේදනය කළා.
එමෙන්ම අදාළ හෝටල්වලට අමතරව පැමිණෙන සංචාරකයින් වෙනත් හෝටල් ඉල්ලුම් කරන්නේ නම් ඊට සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශ අවශ්‍ය වනවා.
කෙසේ වෙතත් මෙරටට පැමිණෙන සියලු සංචාරකයින් අවම දින 7ක් හෝ නිරෝධායනයට ලක්විය යුතු බවයි සංචාරක හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශය පැවසුවේ.
යළි ගුවන් තොටුපළ විවෘත වීමත් සමග පළමු සංචාරක කණ්ඩායම ලෙස රුසියානු ජාතික සංචාරකයින් පිරිසක් මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා.
මේ අතර ලබන 26 වැනිදා සිට ගුවන්තොටුපළ විවෘත කෙරෙන අතර එහි සියලු කටයුතු සෞඛ්‍ය අමාත්‍යාංශයේ පුර්ණ අධීක්ෂණය යටතේ සිදුවනු ඇති.