“ගම සමග පිළිසඳර” තෙවැනි වැඩසටහන අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බලංගොඩ, ඉඹුල්පේ, රාවණාකන්ද ප්‍රදේශයේ, තෝරවෙල්කන්ද විද්‍යාලයීය ක්‍රීඩා භූමියේදී පැවැත්වුණා.
එහි පළමුවැනි වැඩසටහන ඉකුත් සැප්තැම්බර් මස බදුල්ල, හල්දුම්මුල්ල ප්‍රදේශයේ ද දෙවැන්න ඔක්තෝබර් මස මාතලේ, විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස ආශ්‍රිතව ද පැවැත්වුණා.
ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ, දීර්ඝ කාලයක් ග්‍රාමීය ජනතාවගේ නොවිසඳුණු ගැටළු පිළිබඳව ඔවුන් සමඟ සාකච්ඡාකර, ඒවා නිලධාරීන්ට ඉදිරිපත්කර කඩිනම් විසඳුම් දීම ජනාධිපතිවරයාගේ අපේක්ෂාව බවයි.
දිවයිනේ අති දුෂ්කර ගම්මානවල වෙසෙන ජනතාව මුණ ගැසී ඔවුන්ගේ ගැටළු නිවැරදිව හඳුනා ගැනීම තවත් අරමුණක්.
අද පැවැති වැඩසටහනේදී රාවණාකන්ද ග්‍රාමයට ආසන්න කට්ටඩිකන්ද, ගල්ලෙනකන්ද සහ තෝරවෙල් කන්ද ඇතුළු අවට ප්‍රදේශ රැසක ජනතාව ජනාධිපතිවරයා හමු වී සිය ගැටළු ඉදිරිපත් කළා.
බලංගොඩ, හැටන් මාර්ගයට පිවිසෙන පුදුකාඩුව මංසන්ධියේ සිට වලේගොඩ මාර්ගය, රාවණාකන්ද සිට ගල්ලෙන්කන්ද මාර්ගය, තෝරවෙල්කන්ද – වතුකාරකන්ද මාර්ගය සහ එගොඩවලේබොඩ – වතුකාරකන්ද යන මාර්ග ඇතුළු ගම්මාන රැසකට පිවිසෙන අතුරු මාර්ග හඳුනාගෙන ඒවා කඩිනමින් සංවර්ධනය කරන ලෙසයි ජනාධිපතිවරයා එහිදී මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දුන්නේ.
එමෙන්ම අදාළ මාර්ගවලදී හමු වන ඌරාඔය සහ ඉමෝඔය හරහා පාලම් ඉදි කිරීම ද ඊට සමගාමීව සිදු කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවා.
මාර්ග ඉදිකිරීම් සමග කුඩා තේ වතු කර්මාන්තකරුවන් රැසකට තේ දළු ප්‍රවාහනය කිරීමටත් පහසුකම් සැළසෙනු ඇති.
මේ අතර කිතුල් මැදීමේදී මතු වන ගැටළු රැසක් පිළිබඳව ද එම ජනතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාව දැනුවත් කළ අතර එහිදී ජනාධිපතිවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නේ, කිතුල් මැදීම බාධාවකින් තොරව කරගෙන යාමට ඉඩ ලබා දෙන ලෙසටයි.
කිතුල් මැදීම, තේ දළු නෙළීම ඇතුළු එදිනෙදා ජීවනෝපාය සඳහා වන සංරක්ෂණ හා වනජීවි භූමිවලට ඇතුළුවන ජනතාවට අත්තනෝමතික ලෙස නඩු පැවරීම නතර කරන්නැයි ද මෙහිදී ජනාධිපතිතුමා නියෝග කළා.
ඔවුන්ගේ පාරම්පරික ජීවන රටාවන්ගෙන් පරිසරයට හානියක් නොවන බව අවස්ථා ගණනාවකදීම පැහැදිලි වී ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එම කටයුතුවලට සහය වන ලෙස ද නිලධාරීන්ට පවසා තිබෙනවා.
ප්‍රදේශයේ තේ වගාකරුවන්ට අඩුවක්ව පවතින තේ සැකසුම් මධ්‍යස්ථානයක් ඉදිකර දීම කෙරෙහි ද ජනාධිපතිතුවරයාගේ අවධානය යොමු වුණා.
තේ දළු ප්‍රවාහනයේ දී සිදුවන ප්‍රමාදය වළක්වා ගැනීමට පහසුකම් සැළසීමට මැදිහත්වන්නැයි පළාත් දේශපාලනඥයින්ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දුන්නා.
දිගු කලක සිට ප්‍රදේශයේ ගම්මාන රැසක ජනතාවට මුහුණ දීමට සිදුව ඇති ඉඩම් ගැටළු හඳුනාගෙන කඩිනම් විසඳුම් දෙන ලෙස ද ජනාධිපතිතුමා අදාළ අමාත්‍යාංශ නිලධාරීන්ට දැනුම් දී තිබෙනවා.
කරගස්තලාව විද්‍යාලය, සුමන විද්‍යාලය, බලංගොඩ කනගනායගම් දෙමළ විද්‍යාලය, වලේබොඩ දෙමළ විද්‍යාලය, උඩගම විද්‍යාලය, පින්නවල දෙමළ මහා විද්‍යාලය, බලංගොඩ බුද්ධ ජයන්ති විද්‍යාලය, තෝරවෙල් කන්ද විද්‍යාලය ඇතුළු පාසල් රැසක ගුරු හිඟයට සහ යටිතල පහසුකම් සංවර්ධනයට කඩිනම් විසදුම් දීමටත් තීරණය කෙරුණා.
සබරගමුව පළාතේ උසස් පෙළ විද්‍යා, ගණිත, වාණිජ හා තාක්ෂණ විෂයයන් ඉගැන්වීමේදී පවතින දෙමළ මාධ්‍ය ගුරුවරුන්ගේ හිඟය පියවීමට කඩිනම් සැළසුම් සකස් කරන ලෙස ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දෙනු ලැබුවා.
ප්‍රදේශයේ තරුණ තරුණියන් උදෙසා වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් ඇරඹීමට ද තීරණය කෙරුණු අතර පින්නවල ග්‍රාමීය රෝහල, මනතුංගකන්ද ඇතුළු ග්‍රාමීය රෝහල් කිහිපයක වෛද්‍ය, හෙද සහ යටිතල පහසුකම් සංවර්ධනයට කඩිනම් පියවර ගැනීමටත් මෙහිදී අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්නා.
බැංකියවත්ත කසල මුදා හැරීමේ මධ්‍යස්ථානය ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍යයට අහිතකර නොවන ලෙස සුදුසු වැඩපිළිවෙළක් සකස් කිරීමේ වගකීම නාගරික සංවර්ධන අධිකාරියට පවරනු ලැබුවා.
එමෙන්ම ඉඹුල්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට විශාල අඩුවක්ව ඇති සුසාන භූමියක් ඉදි කිරීමට සුදුසු භූමියක් වෙන්කර පළාත් පාලන ආයතනයට පැවරීමට ද මෙහදී තීරණයකර තිබෙනවා.































