ඩෙංගු පරීක්ෂාව සදහා පානදුර මූලික රෝහලට පැමිණි පානදුර, කිරිබේරිය ප්‍රදේශයේ 5 හැවිරිදි දැරියකට සුනඛයින් සහ බළලුන් සපා කෑ විට ලබා දෙන ඖෂධයක් එන්නත් කිරීම නිසා ඇය අධි නිද්‍රාවට පත්ව ඇති බව වාර්තා වනවා.
ඩෙංගු රෝගය සම්බන්ධ පූර්ණ රුධිර පරීක්ෂාවක් සදහා අදාළ දැරිය රැගෙන ඇයගේ මව පානදුර රෝහල වෙත පැමිණ තිබුණේ ඊයේ පෙරවරුවේයි.
එම අවස්ථාවේ රෝහල් බාහිර ප්‍රතිකාර අංශයේ සුනඛයින් සහ බළලුන් සපා කෑමට අදාළ එන්නත් කිරීමක් සිදුකර ඇති අතර අදාළ දැරියට ද එම එන්නත දී ඇති බවයි වාර්තා වන්නේ.
එන්නත දීමෙන් පසු එම දැරිය අධික නින්දකට පත්ව ඇති අතර ඇයගේ මව ඒ සම්බන්ධයෙන් එන්නත දුන් හෙදියගෙන් විමසා තිබුණා.
හෙදිය පවසා ඇත්තේ, තමන් පෞද්ගලික ප්‍රශ්නයක් පිළිබද සිතමින් සිටි බවත්, ඒ හේතුවෙන් අදාළ දැරියට ද එම එන්නත දී ඇති බවත් තමන් අතින් සිදුව ඇත්තේ අත්වැරදීමක් බව තමන් පිළිගන්නා බවයි.
පසුව දැරිය ළමා වාට්ටුව වෙත රැගෙන ගොස් ඇති අතර එහිදී රෝහල් කාර්යය මණ්ඩලය බැගෑපත් අයුරින් දැරියව නිවස වෙත රැගෙන යන ලෙසට ඥාතීන්ට උපදෙස් දී ඇති බවයි වාර්තා වුණේ.
රෝහල් නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා පැවසුවේ සිද්ධිය තවමත් පර්යේෂණ මට්ටමේ පවතින බවයි.
ඒ සම්බන්ධයෙන් නිවැරදි පිළිතුරක් අද දිනයේ ලබා දිය හැකි බවත් නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා පැවසුවා.
ඊයේ දහවල් වනවිටත් දැරිය අඩ නින්දක පසුව වූ බව ඇගේ ඥාතීන් ප්‍රකාශ කළා.