News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
6

සල්ලි ගන්න කොඩිකන්ද හිමිනම පැහැරගෙන ගොස් නිවසක රඳවා, අමානුෂික ලෙස පහර දීලා – ඝාතනයේ සුළ මුල හෙළි වෙයි

1474 Views


සල්ලි ගන්න කොඩිකන්ද හිමිනම පැහැරගෙන ගොස් නිවසක රඳවා, අමානුෂික ලෙස පහර දීලා – ඝාතනයේ සුළ මුල හෙළි වෙයි

පසුගියදා පැහැර ගැනීමට ලක් වූ තුන්මෝදර කොඩිකන්ද ආරණ්‍ය සේනාසනයේ හිමිනමගේ ඝාතනයට හේතු වූ කරුණු රැසක් අනාවරණ වී තිබෙනවා.

පොලිසිය පැවසුවේ, එම ආරණ්‍යයේ වැඩ වාසය කළ කුඩා හිමිනමකට සිදු වූවේ යැයි පැවසෙන අතවර සිද්ධි කිහිපයකට අදාළ වීඩියෝ පට මුදා හරින බව පවසමින් ඝාතනයට ලක් වූ හිමිනමගෙන් මුදල් කොල්ල කෑමට අපරාධ කල්ලිය උත්සාහකර ඇති බවයි.

එම අපරාධය සංවිධානාත්මක පිරිසක් විසින් සැළසුම් කළ ක්‍රියාවක් බවත් අදාළ වීඩියෝපට මුදාහරින බවට තර්ජනය කරමින් හිමිනමගෙන් රුපියල් කෝටි පහකට අධික මුදලක් කොල්ල කෑමට පිරිස සැළසුම්කර තිබූ බවත් පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.

අපරාධකරුවන් එම හිමිනම මාකොළ ප්‍රදේශයේ නිවසක රඳවාගෙන මුදල් ලබා ගැනීම සදහා උන්වහන්සේට අමානුෂික ලෙස පහර දෙමින්, වධ හිංසා පමුණුවා තිබූ බවයි පොලිසිය පැවසුවේ.

වධ හිංසා පැමිණවීමේදී හිමිනමගේ ගෙල සිර වී උන්වහන්සේ අපවත් වී ඇති අතර පසුව අදාළ පිරිස හිමිනමගේ දේහය කොටදෙණියාව, නාවාන පොදු සුසාන භූමිය වෙත රැගෙන ගොස් පෙට්‍රල් දමා පුළුස්සා තිබුණා.

පොලිසිය පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකාරිය ලෙස අත්අඩංගුවට ගත් කාන්තාවගේ අනියම් සැමියා සහ තවත් දෙදෙනෙකු ඊයේ අත්අඩංගුවට ගත් අතර තවත් සිව්දෙනෙකු අත්අඩංගුවට ගැනීම සදහා පුළුල් පරීක්ෂණ ක්‍රියාත්මක බවයි.

එමෙන්ම එම අපරාධය සදහා ඔවුන් යොදා ගත් වෑන් රථය හා ජංගම දුරකතනයක් මෙන්ම හිමිනම පැහැරගත් අවස්ථාවේ උන්වහන්සේ සතුව තිබී අපරාධ කල්ලිය ගෙන ගොස් තිබූ බැංකු පොත් කිහිපයක් ද පොලිසිය භාරයට ගෙන තිබෙනවා.

අදාළ බැංකු ගිණුම්වල රුපියල් 5,000කටත් අඩු මුදලක් තිබී ඇති බවටයි විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ.

අපරාධය සැළසුම්කර ඇත්තේ එම ආරණ්‍යයේ වැඩ වාසය කරන කුඩා හිමිනමකගේ මව සහ ඇගේ අනියම් සැමියා වන අතර කුඩා හිමි නම තමන්ට අතවර සිදුවන බවට විටින් විට සිය මවට පවසා තිබුණා.

ඒ සම්බන්ධයෙන් ආරණ්‍යයේ හිමිනම සමග අදාළ කාන්තාව ගැටුම් ඇතිකර ගෙන තිබුණා.

තම පුත්‍රයාට අතවර කිරීමේ සිද්ධීන්වලට අදාළ වීඩියෝපට තමන් සතුව ඇති බවත් ඒවා ප්‍රසිද්ධ කරන බවත් පවසා හිමිනමගෙන් මින් පෙර ද ඇය මුදල් ලබා ගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

හිමිනම පැහැර ගැනීමට යොදා ගත් වෑන් රථය ගෙන ඇත්තේ ද එම හිමිනම මින් පෙර දුන් මුදල්වලින් බවටත් එහි ලීසිං වාරික ගෙවා ඇත්තේ හිමිනම බවටත් අනාවරණ වී තිබෙනවා.

එම හිමිනම අදාළ කාන්තාවට පවසා ඇත්තේ තමන් සතුව රුපියල් කෝටි 5කට අධික මුදලක් ඇති බවයි.

අදාළ කාන්තාවගේ සැමියා පවත්වාගෙන යන ව්‍යාපාරය දියුණුකර ගැනීම සදහා මසකට රුපියල් ලක්ෂයක මුදලක් ලබා දීමට තමාට හැකි බවත් හිමිනම කාන්තාවට පවසා තිබුණා.

එහෙත් අපරාධ කල්ලිය පසුගිය 3 වැනිදා රාත්‍රී ආරණ්‍යට කඩා වැදී හිමිනම පැහැරගෙන ගොස් ඇත්තේ කෝටි ගණනක මුදලක් එකවර ලබා ගැනීමේ අරමුණින් බවට හෙළි වී තිබෙනවා.

එම උත්සාහය ව්‍යර්ථ වීම හේතුවෙන් හිමිනමගේ දේහය කොටදෙණියාව සුසාන භූමිය වෙත රැගෙන ගොස් වළ දැමීමට ඔවුන් උත්සාහකර තිබුණත් එම උත්සාහය ද ව්‍යාර්ථ වී තිබුණා.

ඉන් අනතුරුවයි උන්වහන්සේගේ දේහය පුළුස්සා දැමීමට අපරාධ කල්ලිය කටයුතුකර ඇත්තේ.

තුන්මෝදර කොඩිකන්ද ආරණ්‍ය සේනාසනාධිපති උඩුවිල ධම්මසිරි හිමියන් එලෙස අපවත් වූ අතර අපවත්වන විට උන්වහන්සේ 65 වැනි වියෙහි පසු වුණා.

සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පුළුල් විමර්ශන ක්‍රියාත්මක බවයි පොලිසිය ප්‍රකාශ කළේ.


News Articles
Latest Videos
Most Popular Post