පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් මෙරට ආරක්ෂක අංශ භාරයේ පසුවන පුද්ගලයින් තිදෙනෙකුට එරෙහිව ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් ෆෙඩරල් අධිකරණය හමුවේ නඩු පවරා තිබෙනවා.
අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව පැවසුවේ, පාස්කු ප්‍රහාරයට ආධාර අනුබල දීමේ චෝදනා මත එම සැකකරුවන්ට එරෙහිව අධි චෝදනා ගොනු කරමින් එලෙස නඩු පවරා ඇති බවයි.
ඒ අනුව අදාළ අධිකරණයේ නඩු පවරා ඇත්තේ මොහොමඩ් නවුෆර්, මොහොමඩ් අන්වර් මොහොමඩ් රිස්කාන් සහ අහමඩ් මිල්හාන් හයිදු මොහොමඩ් යන තිදෙනාට එරෙහිවයි.
ඔවුන් ISIS සංවිධානයේ ආධාරකරුවන් බව ඇමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව නිවේදනය කළා.
පා්කු ප්‍රහාරයෙන් ඇමෙරිකානු ජාතිකයින් 5 දෙනෙකු ඇතුළුව පුද්ගලයින් 268 දෙනෙකු මියගිය බවත්, ISIS සංවිධානය එම ප්‍රහාරය සිදුකර ඇති බවට තොරතුරු ලැබී ඇති බවත් අදාළ දෙපාර්තමේන්තුව පවසනවා.
ඔවුන් පාස්කු ප්‍රහාරය සැළසුම් කිරීම, ආධාර අනුබල දීම සහ ආයුධ ලබාදීම සිදුකර ඇති බව ඇමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.
ලෝකයේ ඕනෑම රටක සිටින ඇමෙරිකානුවන් ඉළක්කකර ගනිමින් සිදු කරන ත්‍රස්ත ප්‍රහාරවලට අදාළව යුක්තිය ඉටු කිරීම සඳහා එම නඩු පැවරීම සිදුකර ඇති බව ඇමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසුවා.