ශ්‍රී ලාංකික බෞද්ධ ජනයාගේ මුදුන්මල්කඩ ලෙස හැඳින්වෙන මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවට එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයට අදට වසර 23ක් සපිරෙනවා.
1990 වසරේ අවසන් භාගය වනවිට මෙරට සිවිල් යුද්ධය උපරිම මට්ටමක් දක්වා වර්ධනය වී තිබූ අතර 1995 දක්වා එල්.ටී.ටී.ඊ. ත්‍රස්තයින්ගේ ග්‍රහණයේ තිබූ උතුරු පර්යන්තය වූ යාපනය අර්ධද්වීපය නැවතත් සියතට නතුකර ගැනීමට ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාව සමත් වනවා.
ඊට පළිගැනීමක් වශයෙන් 1996 වසරේදී එල්.ටී.ටී.ඊ. ය රජයේ හමුදාවන්ට බරපතල හානි සිදු කරමින් මුලතිව්හි පාලනය ඔවුන් යටතට නතුකර ගත්තා.
රජයේ හමුදාවන් එල්.ටී.ටී.ඊ. ග්‍රහණයේ පැවැති ඇතැම් භූමි ප්‍රදේශ නැවතත් අල්ලා ගැනීමට කටයුතු කළේ, 1997 වර්ෂයේදී ජය සිකුරුයි මෙහෙයුම දියත් කරමින්.
එලෙස ගැටුම් සිදු වන අතරතුර ශ්‍රී ලංකා හමුදාව, ආර්ථික මරමස්ථාන සහ සිවිල් වැසියන් ඉලක්කකර මරාගෙන මැරෙන ප්‍රහාර රැසක් දියත් කිරීමට එල්.ටී.ටී.ඊ. ය මෙහෙයුම් දියත් කළා.
50 වැනි ජාතික නිදහස් දින උළෙල සැමරීම සඳහා ශ්‍රී ලංකාව 1998 වසරේ මුල් වකවානුවේදී සූදානම්ව සිටි අතර ඒ වෙනුවෙන් බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරු ඇතුළු විදෙස් සම්භාවනීය අමුත්තන් රැසක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතව තිබුණා.
එම උළෙලේ සැමරුම් කටයුතු පෙබරවාරි 4 වැනිදා මහනුවරදී සිදු කිරීමට සැළසුම්කර තිබූ අතර වසර 16 ක් බිඳවැටී තිබූ යාපනය ප්‍රාදේශීය මැතිවරණය පැවැත්වීමට ද කටයුතු යොදා තිබුණා.
අදට වසර 23ක් සපිරෙන දළදා මාලිගා සාහසික ප්‍රහාරය 1998 වසරේ ජනවාරි මස 25 වැනිදා එල්ල වන්නේ එවැනි පසුබිමක් තුළයි.
එදින උදෑසන 6:10ට පමණ මරාගෙන මැරෙන ත්‍රස්තයින් තිදෙනෙකු පුපුරණ ද්‍රව්‍ය තොගයක් පැටවූ ට්‍රක් රථයක් මහනුවර, රජ වීදිය ඔස්සේ පදවාගෙන පැමිණ, මාර්ග බාධකවල සිටි හමුදා භටයින්ට ද වෙඩි තබා මාලිගාවේ පිවිසුම් අංගනය වෙත කඩා වැදී පිපිරවීම සිදු කළා.
අධි පුපුරණ ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 300 – 400ක් සහිත ට්‍රක් රථය ප්‍රධාන පිපිරීම් දෙකකින් විනාශයට පත්ව තිබෙනවා.
ප්‍රහාරයෙන් ත්‍රස්තයින් තිදෙනා සහ වයස අවුරුදු 2ක දරුවෙකු ඇතුළු 16 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර තවත් 25 දෙනෙකු තුවාල ලැබුවා.
භික්ෂුන් වහන්සේ නමක්, පොලිස් නිලධාරියෙක් සහ කාන්තාවන් සිව් දෙනෙක් ද තුවාල ලැබූ පිරිස අතර වනවා.
මේ අතර භූ විද්‍යා මහාචාර්යවරයෙකු වූ පී.ඩබ්. විතානගේ මහතා මෙම සිදු වීම ඇසීමෙන් කම්පනයකට පක්ව මිය ගිය බව සඳහන්.
එමෙන්ම ප්‍රහාරයේ බලපෑම හේතුවෙන් අවට වූ ඇතැම් ගොඩනැගිලිවලට ද හානි සිදුවී තිබුණා.
එවකට මෙරට ආරක්ෂක අමාත්‍යවරයා වූ අනුරුද්ධ රත්වත්තේ මහතා අදාළ ප්‍රහාරය එල්ල වීමට හේතු වූ ආරක්ෂක දුර්වලතාවල වගකීම භාරගනිමින් සිය තනතුරින් ඉල්ලා අස් වීමට කටයුතු කළා.
සැළසුම්කර තිබූ යාපනය ප්‍රාදේශීය මැතිවරණය පැවැත්වීමට එවකට රජය කටයුතුකර තිබුණේ අදාළ ප්‍රහාරය සහ උතුරේ යුද ගැටුම් අතරතුරයි.
එම පසුබිම තුළ මහනුවර පැවැත්වීමට සැළසුම්කර තිබූ ජාතික නිදහස් දින සැමරුම කොළඹ වෙත ගෙන යාමට තීරණය කෙරුණු අතර ඊට සහභාගී වීම පිණිස දිවයිනට ආ බ්‍රිතාන්‍යයේ චාල්ස් කුමරු සහ විදෙස් සම්භාවනීය අමුත්තන් අගනුවරට පැමිණි බව සඳහන්.



