පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයේ පිහිටි මූන් අනුස්මරණ කෞතුකාගාරය සැප්තැම්බර් 28 වන දින මහජනතාව උදෙසා විවෘත කරන බවට පරිසර රාජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි පවසා තිබෙනවා. ඊයේ (25) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනුයි රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ. එමෙන්ම මෙම කෞතුකාගාරය හරහා ශාක උද්‍යාන දෙපාර්තමේන්තුවේ කටයුතු සඳහා සුවිශේෂී ඉදිරි පියවරක් සනිටුහන් කිරීමට බලාපොරොත්තු වන බවත් මෙහිදී ඔවුන් සඳහන් කර තිබෙනවා. වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ශාක විශේෂ ආරක්ෂා කිරීම, ඒවායේ කොටස් සංරක්ෂණය කිරීම සහ ඒවා පිළිබඳ විද්‍යාත්මක දැනුම ප්‍රචාරණය කිරීමත් මෙම කෞතුකාගාරය ඇරඹීමේ තවත් එක් අරමුණක් බවත් මෙහිදී සඳහන් කොට තිබෙනවා.
වාර්ෂිකව මිලියන දෙකකට ආසන්න අමුත්තන් පේරාදෙණිය උද්භිද උද්‍යානය නැරඹීමට පැමිණෙන බවත්, මෙම කෞතුකාගාරය ඔවුන්ට වටිනා අධ්‍යාපනික අවස්ථා ලබා දෙන බවත් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබෙනවා. පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයේ ආරම්භකයා වන ඇලෙක්සැන්ඩර් මූන් සිහිවීම පිණිසයි ඔහුගේ නමින් මෙය නම් කර ඇත්තේ. මෙම කෞතුකාගාරය දිනපතා පෙරවරු 9.00 සිට පස්වරු 3.00 දක්වා විවෘතව පවතී. 1824 දී මූන් දේශීය ශාක විශේෂ 1,127 ක නාමාවලියක් ප්‍රකාශයට පත් කරමින් ශ්‍රී ලංකාවේ උද්භිද විද්‍යා පර්යේෂණ සඳහා ඓතිහාසික දායකත්වයක් ලබා දී තිබෙනවා.
මෙම කෞතුකාගාරය මූලික වශයෙන් ජාන සංරක්ෂණය, ශාක ජාන විද්‍යා පර්යේෂණ සහ පරිසර පද්ධති සංරක්ෂණය පිළිබඳව මහජනතාව දැනුවත් කිරීම අරමුණු කරයි. වියළි ශාක නිදර්ශක සහ ඓතිහාසික ශාක ආකෘති වැනි ප්‍රදර්ශන මෙහි ඇතුළත් වන අතර, එය ශාක විද්‍යාව පිළිබඳ නරඹන්නන්ට ගැඹුරු අවබෝධයක් ලබා දීමට ද බස්ලපොරොත්තු වනවා. මෙම නව කෞතුකාගාරය ලොව ප්‍රකට උද්භිද කෞතුකාගාරවලට සමපාත වන අතර, විශේෂයෙන් පාසල් දරුවන් සහ පුළුල් ප්‍රජාව සඳහා දේශීය ශාක සංරක්ෂණය පිළිබඳ දැනුවත් කිරීමේ කේන්ද්‍රස්ථානයක් ලෙසද කටයුතු කිරීමට නියමිතයි.



