පළවෙනි තරගයේ දැවැන්ත පරාජයත් එක්කම දඹුල්ලෙන් ලැබුනෙ ලොකු හූවක්. ඒ පිඩනයත් එක්ක ලංකාවේ කණ්ඩායම නුවරට ආවෙ ජයග්‍රහණය හොයාගෙන. සුපුරුදු පරිදි කාසියේ වාසිය දිනාගත්තෙ ඉන්දියාව. කොහොම වුනත් මුලින්ම ලකුණු රැස්කරගන්න අවස්ථාව ඔවුන් ලංකාවට දෙනවා.
දික්වැල්ල සුපුරුදු වේගවත් ආරම්භය එක්ක ලකුණු 31 ක් ලබා ගන්නවා. ගුණතිලක සහ කුසල් මෙන්ඩිස් ලකුණු 19 බැගින් රැස්කර ගන්නවා. තරංග ලකුණු 9 කට Out වෙන්නෙ නායකත්වයේ කටු ඔටුන්න බර වැඩිද කියන ප්‍රශ්නය මතුකරලා. දැවැන්ත පරාජයකට ඇදවැටෙමින් තිබුන ලංකාව ඔසවා තබන්නෙ මිලින්ද සහ කපුගෙදර. ඔවුන් දෙදෙනා ලකුණු 91 ක සබදතාවක් ගොඩනගනවා. මිලින්ද ලකුණු 58 යි. කපුගෙදර ලකුණු 40 යි. කඩුලු 4 ක් දවා ගත්ත බුම්රා ශ්‍රී ලංකා ඉනිම විනාශ කරනවා. චහාල් කඩුලු 2 යි. කොහොම වුනත් පන්දුවාර 50 ඉවර වෙද්දී ලංකාව කදුළු 8 ක් බිදවැටී ලකුණු 236 ක් විතරයි ලබා ගන්නෙ.
පරාජය පෙනි පෙනී තියෙන වෙලාවක වැහි දෙවියන්ට දුක හිතිලද කොහෙද ඉන්දීය ඉනිම පටන් ගන්න කලින් වැස්ස ඇද වැටුණා. ඒ වෙලාවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ගේ ප්‍රාර්ථනාව වෙලා තිබුනෙත් ඒකමයි. කොහොම වුනත් වැස්සෙන් පස්සේ තරගය නැවත පටන් ගත්තෙ පන්දුවාර 47 කට සිමා කරලා. ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ඉන්දියාවට ලකුණු 231 ක ඉලක්කයක් ලැබුණා. නැවතත් ලංකාවේ පරාජයේ සෙවනැලි පෙන්න ගත්තෙ පළවෙනි කඩුල්ලට ඉන්දියාව ලකුණු 119 ක් සබදතාවක් ගොඩනගද්දි. ලංකා කණ්ඩායමේ අලුත් මනමාලය වුන අකිල ධනංජය ප්‍රාතිහාර්ය පාන්න පටන් ගත්තෙ පළවෙනි කඩුල්ල විදිහට රෝහිත් ලකුණු 54 කට දවාගෙන.
මාලිංගටත් වයසයි කියල කින්ඩිය දාපු ධවාන් ලකුණු 49 කට දැවී යන්නෙ මැතිව්ස් ගුවනේ පාවී ගිහින් රැකගත්ත උඩ පන්දුව නිසයි. රාහුල්, කෝලි, ජාදෙව් සහ පාන්ඩයා ඇතුලු ක්‍රීඩකයන් 6 දෙනෙක් දණ ගස්වන්න අකිල සමත් වෙනවා. තරගයට කලින් දවසෙ විවාහ වුණ අකිල කෙලින්ම තරගයට ආව නිසා මධුසමයට යන්න හදිසිවෙලා ඉක්මනට තරගය ඉවර කරන්න හැදුවද කියලත් හිතෙනවා.
කොහොම වුනත් ලකුණු 131 ට කඩුලු 7 ක් දවාගෙන ලංකාව ප්‍රභල තැනකට ආවා.ඊට පස්සේ පිටියෙ එක් වුනෙ ඉන්දියාවේ තරග දිනවන්නා වුන දෝනි එක්ක බුවනේශ්වර්. ආයිත් තරගය තමන්ගේ පැත්තට හරවගන්න ඔවුන් සමත්වුණා. ඒ 9 වෙනි කඩුල්ලට ලකුණු 100 ක සබදතාවක් ගොඩ නගමින්. ඉතින් ඉන්දියාවට තරගයේ ජය හිමිවුනා. බුවනේශ්වර් ලකුණු 53 යි. දෝනි ලකුණු 45 යි. තරගයේ වීරයා වුනෙ පුංචි මනමාලයා අකිල ධනංජය. කොහොම වුනත් තරගය පැරදුනාට හොද තරගයක් දෙන්න ලංකාවට පුළුවන් වුනා. ඒක නම්බුකාර පරාජයක් කිව්වත් වරදක් නෑ.
කරට කර සටනක් වුන මේ තර්ගයේත් වාර්තා රැසක්ම බිහිවුණා.
කඩුලු 6 ක් දවා ගැනීමට වැයකළ වැඩිම තුන්වන ලකුණු ප්‍රමාණය විදිහට අකිල ලකුණු 54 ට දවාගත් කඩුලු 6 වාර්තා වුනා.
ඉන්දියාවට එරෙහිව පරාජය වූ තරගයක ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයෙක් දැක්වූ හොදම දක්ෂතාවය විදියට වාර්තා අතරට යන්නත් අලුත් මනමාලයට පුළුවන් වුනා.
පරාජය වූ තරගයක ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයෙක් දැක්වූ හොදම දක්ෂතාවයත් ඒක.
පන්දු යවන්නෙක් කඩුලු 6 ක් දවාගෙන සිටියදී සහ ප්‍රතිවාදී කණ්ඩායමේ කඩුලු 7 ක් බිදවැටි තිබියදීත් තරගයක් පරාජය වුන දෙවන අවස්තාව විදිහටත් ඊයේ තරගය වාර්තා අතරට ගියා.
ඉන්දීය පිලේ 9 වන කඩුල්ල සදහා ක්‍රීඩකයෙක් ලබාගත් 5 වන අර්ධ ශතකය විදියට බුවනේශ්වර් ලබාගත් ලකුණු 53 සටහන් වුනා.
කරට කර තරගයකින් පස්සෙ ලංකාව තරගය පැරදුණා. ඒ වුනාට ඊලග තරගයේ නම් ජයග්‍රහණය ගැන පුංචි බලාපොරොත්තුවක් තියාගන්න පුළුවන් කියලා තමයි පේන්නෙ.