දවල් කෑම එක කෙසෙල් කොලේක ඔතාගෙන ගිහින් කෑවම කොච්චර රහද. බත් එකේ රස්නෙට තැම්බුණ කෙසෙල් කොලෙන් එන සුවදට එක හුස්මටම බත් එක කාගෙන යන්න හිතෙනවා. හැබැයි ලන්ච්ෂීට් ආවාට පස්සෙ ඒ රසත් පොලිතීන් වලටම යට වෙලා ගියා.
පොලිතින්, ප්ලාස්ටික් නිසා පරිසරයට වෙන්නේ සුළුපටු හානියක් නෙවෙයි. ඒ නිසාම ලංකාවේ අද ඉදන් පොලිතීන් බෑග්, ලන්ච්ෂීට්, ඊ.පී. කෑම පෙට්ටි පාවිච්චිය තහනම්. ඒවා භාවිතා කරලා අහු වුනොත් රුපියල් 10,000 ක දඩයක් කන්න හරි අවුරුදු 2 ක් හිරේ යන්න හරි වෙනවා. මේ නිසා ආපනශාලා හිමියන්ට බත් පාර්සල් ඔතන්න වෙනත් විකල්ප වලට යන්න වෙනවා. ඒ හින්දා කෑම පාර්සලයක මිල අද ඉදන් රුපියල් 10 කින් වැඩි වෙනවාලු. ඊයේ ඔය ආරංචිය ආවේ. එතකොට අද අපිට ආරංචි වුනා තවත් කෑම වර්ග කීපයකම ගාණ වැඩි වෙනවලු. ඒ තමයි කොත්තු, ඉඳිආප්ප, නුඩ්ල්ස්. ඒවත් වැඩි වෙන්නේ රුපියල් 10 කින්.
පරිසරයට ලොකු හානියක් වුන පොලිතීන් තහනම් කරන එකනම් හොද වැඩක්. හැබැයි එකට විකල්පයකුත් හදුන්වලා දීලම. නැත්තම් රුපියල් 10 ට තමයි ඒකට වන්දි ගෙවන්න වෙන්නෙ.