News Line| Off Air
Generic placeholder image

May
7

අල්ලස් ගත්ත නිලධාරීන් අල්ලන සැලැස්ම අගමැතිගේ. සැකකරුවන් කොටු කල මෙහෙයුම මෙන්න.

2645 Views


අල්ලස් ගත්ත නිලධාරීන් අල්ලන සැලැස්ම අගමැතිගේ. සැකකරුවන් කොටු කල මෙහෙයුම මෙන්න.

අල්ලස් ගනිද්දී පහුගිය දා අත්අඩංගුවට ගත්ත රාජ්‍ය නිලධාරීන් දෙදෙනා කොටු කල මෙහෙයුම හෙළි වෙලා තියෙනවා. කාලයක් තිස්සේ කරන ලද පරීක්ෂණ වලින් සහ සැලසුම් වලින් තමයි ඔවුන් දෙදෙනා කොටු කරගෙන තියෙන්නේ.

ශ්‍රී ලංකා රජයත්, බැංගලෝරයේ ශ්‍රී ප්‍රභූලිංගේෂ්වර ෂුගර්ස් සමාගම සහ සිංගප්පූරුවේ SLI සමාගම එකතු වෙලා කන්තලේ සීනි කම්හල පුනරුත්ථාපනය කරන්න MG ෂුගර්ස් ලංකා නමින් ඒකාබද්ධ සමාගමක් පිහිටුවනවා. 2015 දී මේ ගිවිසුම අත්සන් කරද්දී සීනි කම්හල තිබුනේ අත්අඩංගුවට ගත්ත මහානාම මහතා ලේකම්ධූරය දැරුව ඉඩම් අමාත්‍යංශය යටතේ.

ගිවිසුම අනුව සීනි කම්හලේ යන්ත්‍ර සූත්‍ර සහ අබලි යකඩ ඇතුළු වත්කම් පවරා දෙන්න කියලා MG ෂුගර්ස් ලංකා සමාගම මහානාම මහතාගෙන් ඉල්ලා සිටිනවා. හැබැයි ඔහු කරන්නේ එම වත්කම් වෙන්දේසියේ විකුණන්න කැබිනට් අනුමැතිය ලබා ගන්නවා. මේ තීරණයට එරෙහිව MG ෂුගර්ස් ලංකා සමාගම සිංගප්පූරුවේ ජාත්‍යන්තර බේරුම්කරණ මණ්ඩලයට ඇපෑලක් ඉදිරිපත් කරනවා.

මේ ගැන අවසන් තීන්දුවක් ලබා දෙනකම් එම වත්කම් වෙන්දේසි කරන එක වළක්වන්න කියලා ජාත්‍යන්තර බේරුම්කරණ මණ්ඩලය නියෝග කරනවා. සීනි කම්හලේ යන්ත්‍ර සූත්‍ර සහ අබලි යකඩ ඇතුළු වත්කම් පවරා දෙන්න නම් කෝටි 54 ක් මුදලක් ඉල්ලලා තියෙනවා. කොහොම වුනත් පස්සේ එම මුදල රුපියල් කෝටි 10 කට අඩු කර ගන්නවා.

සිද්ධියට සම්බන්ධව අත්අඩංගුවට ගත්ත දව සංස්ථාවේ සභාපති P. දිසානායක මහතා මේ ගනුදෙනුවේ අතරමැදියා විදියට කටයුතු කරලා තියෙනවා. මේ සක කරුවන් දෙදෙනාගේ එක අයෙකු හෝ දෙදෙනාම ආයෝජකයින් සමඟ කොළඹ ඇස් රෝහල ඉදිරිපිට අවන්හලකදී කිහිප වරක් හමුවෙලා තියෙනවා. ඉතාම දක්ෂ විදියට කටයුතු කල අල්ලස් කොමිසමේ නිලධාරීන් ඔවුන්ගේ මේ හැසිරීම් නිරීක්ෂණය කරලා තියෙනවා.

මහානාම මහතා සහභාගී වෙලා තියෙන්නේ අවසන් සාකච්ඡා දෙකට විතරයි. අනිත් සියලුම සාකච්ඡා සඳහා සහභාගී වෙලා තියෙන්නේ දිසානායක මහතා. අල්ලස් දීම හැරෙන්න වෙන විකල්පයක් නැති නිසා කොටි 10 ක අල්ලස දෙන්න ආයෝජකයින් කැමති වෙලා තියෙනවා.

මේ අතරේදී ආයෝජකයින් කන්තලේදී අගමැතිතුමා හමුවෙනවා. තමන්ට මුහුණ දෙන්න වෙලා තියෙන තත්වය ගැන එහිදී ආයෝජකයින් අගමැතිතුමාට දැනුම් දෙනවා. ආයෝජකයින්ගේ පැමිණිල්ල අහගෙන හිටිය අගමැතිතුමා පැමිණිල්ල ලිඛිතව අගමැති කාර්යාලයට ලබා දෙන්න කියලා දැනුම් දෙනවා. මේ අනුව ඔවුන් පැමිණිල්ල අගමැති කාර්යාලයටත් ඉඩම් ඇමති ගයන්ත කරුණාතිලක මහතාටත් ලිඛිතව දැනුම් දෙනවා.

ඊට පස්සේ අග්‍රාමාත්‍ය කාර්යාලයේ මෙහෙයවීමෙන් ආයෝජකයින් මේ ගැන අල්ලස් කොමිසමට පැමිණිලි කරනවා. පැමිණිල්ල ලැබුන වහාම කොමිසමේ නිලධාරීන් ක්‍රියාත්මක වෙනවා. බ්‍රහස්පතින්දා හවස මහානාම සහ දිසානායක යන මහත්වරු කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී යෝජකයින්ව හමු වෙනවා. ඒ අල්ලස් මුදල ලබා ගන්න. තිදෙනාම හෝටලයේ ආලින්දයේ තේ පානය කරද්දී මුදල් අරගෙන ආ බව ආයෝජකයා පවසනවා.

ආයෝජකයා කොටි 4 ක අත්තිකාරම් අල්ලස් මුදල අරගෙන ඇවිත් තිබුනේ සල්ලි මිටි 4 ක් විදියට. මිටි 4 ම එකම බෑගයක දාලා තිබෙනවා. හැබැයි සල්ලි මිටි 3 ක් එක බෑග් එකකටත් අනිත් මිටිය තවත් බෑග් එකකක්ටත් දාලා දෙන්න කියලා නිලධාරීන් දෙදෙනා ඉල්ලා සිටියා. තමන් ගෙනාවේ එක බෑගයක් විතරයි කියලා ආයෝජකයා කිව්වම හෝටලයෙන් බෑගයක් ඉල්ලගෙන දෙන්න කියලා නිලධාරීන් දෙදෙනා පවසනවා.

හෝටලයෙන් බෑගයක් ඉල්ලගෙන ආයෝජකයා සහ සැකකරුවන් හෝටලයේ රථ ගාලට යනවා. රථ ගාලේදී සැකකරුවන් ආයෝජකයාගේ මෝටර් රථයට නැග කඩිමුඩියේ මුදල් ගණන් කරන්න පටන් ගන්නවා. හැබැයි ඒ වෙද්දීත් අල්ලස් කොමිසමේ නිලධාරීන් ඔවුන් සිටි මෝටර් රථය වට කරලයි තියෙන්නේ. වාහනයේ රියදුරු විදියට කටයුතු කරෙත් අල්ලස් කොමිසමේ නිලධාරියෙක්.

මොහොතකින් මෝටර් රථයට ඇතුළු වුන අල්ලස් කොමිසමේ නිලධාරීන් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගන්නවා. අත්අඩංගුවට අරගෙන පැය කිහිපයකදී කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කර ලබන 9 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයට පත් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post