නීති විරෝධී ආකාරයට, වලංගු බලපත‍්‍රයක් නොමැතිව මැදපෙරදිග රැකියා ලබාදෙන බව පවසමින් මුදල් එක් රැස් කළ පුද්ගලයෙකු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශණ ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු මැද පෙරදිග රටවල රැකියා ලබාදෙන බව පවසමින් තමන්ගේ නිවසේ විදේශ රැකියා ඒජන්සියක් පවත්වාගෙන ගොස් ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය සදහන් කළේ.
සැකකරු එය පවත්වාගෙන ගොස් ඇත්තේ විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචියක් නොමැතිවයි.
මේ සම්බන්ධයෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශණ ඒකකයට ලැබුණ පැමිණිල්ලක් මත සැකකරුවා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහු සතුව තිබූ විදෙස් ගමන් බලපත‍්‍ර හතලිස් නමයක් ද භාරයට ගැනුණා. අත්අඩංගුවට ගත් සැකකරු කුලියාපිටිය මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා.
විවිධ ප‍්‍රදේශවල පදිංචිකරුවන්ගෙන් ඔහු මෙලෙස මුදල් ලබාගෙන ඇති අතර ඒ අයුරින් ලබාගත් මුදල් ප‍්‍රමාණය කොපමණද යන්න පිළිබද සොයා බැලීම සදහා මේ වන විට පරීක්ෂණ ක‍්‍රියාත්මකයි.
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය නොමැතිව විදේශ රැකියා ඒජන්සියක් පවත්වාගෙන යාම නීති විරෝධී වනවා.
එලෙස නීති විරෝධී ආකාරයට පුද්ගලයින් විදේශ රැුකියා සදහා යැවීමට උත්සාහ කරන ජාවාරම්කරුවන් පිළිබද තොරතුරු ඇත්නම් වහාම දැනුම් දෙන ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
SIYATHA MID DAY NEWS | 12:00 PM | Editor : Nayomi Karunasinghe