පාසල් ගුරුවරුන් සහ ගුරුවරියන් ජාතියේ ජීවනාලිය වන් දරුවන්ගේ නැණස පාදන්නට දරන වෙහෙස අපමණය. අවුරුදු පහේ සිට අවරුදු දහ අට දක්වා වසර දහතුනක් පාසල් ගුරුවරු, ගුරුවරියන්ගේ සෙවණේ වැඩෙමින් මනසින් දැන උගත්කමින් පිරිපුන් වන දරුවන් සමාජයට පිවිසේ. මේ නිසාම අප සමාජයේ ගුරු වෘත්තියට හිමිවන්නේ ඉහළම ස්ථානයකි.
ගුරුවරිය මවක වීමට සූදානම් වන විට ඇයටද අනෙකුත් ගර්භණී මවුවරුන්ට දැනෙන අපහසුතා දැනේ. එහෙත් එම සියලු අපහසුතා මධ්‍යයේ ඇය සාරියද ඇඟ දවටාගෙන උදෑසන 7.30 වන විට පාසලට පැමිණිය යුතුය. දුෂ්කර ප්‍රදේශයක පාසල් ගුරුවරියක් නම් පාපැදියද පැදගෙන යා යුතුයි. ඇතැම්විට පන්ති කාමරවලට යෑමේදී පඩිපෙළ නැඟ යායුතුය. මෙවැනි අසීරු අවස්ථාවලදී ගර්භණී ගුරුවරියනට මුහුණදීමට සිදුවුණු අනතුරුද බොහෝ ය. අනාගතයේදී එම අනතුරු සහ අපහසුතා වළක්වා ගැනීමේ අරමුණින් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ගර්භණී ගුරු මවුවරුන් සඳහා සුදුසු ගවුමක් නිර්දේශ කොට ඇත. විවිධ අදහස් උදහස් මධ්‍යයේ නිර්දේශ වුණු මෙම ඇඳුමේ නිර්මාතෘවරියන් වන මොරටුව විශ්වවිද්‍යාලයේ විලාසිතා නිර්මාණය සහ නිපැයුම් ප්‍රවර්ධනය, පේෂකර්ම සහ ඇඟලුම් තාක්ෂණ විද්‍යා දෙපාර්තමේන්තුව, ඉංජිනේරු පීඨයේ ආචාර්ය විරාජිනී මැදගෙදර කරුණාරත්න සහ ආචාර්ය ගයත්‍රි මධුභානි රණතුංග මහත්මීහු මේ පිළිබඳව අප හා අදහස් දැක්වූහ.
ආචාර්ය විරාජිනි මැදගෙදර කරුණාරත්න මහත්මිය – ලංකාවේ ගුරුවරියන් 172,000ක් ඉන්නවා. ඉන් ගුරුවරියන් 10,000ක් වාර්ෂිකව ප්‍රසූත නිවාඩු ගන්නවා. “ගර්භණී ගුරුවරියන් සායන වලට ගියාම විවිධ අපහසුතාවන්ට ලක් වෙනවා. වැසිකිළියාමේදී මෙන්ම බැක්ටීරියා ආසාදනවලට පවා පත්වෙනවා. මෙම ව්‍යාකූල අවස්ථාවන් මඟ හරවා ගැනීම සහ අවම කර ගැනීම සඳහා ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන් විසින් ගර්භණී ගුරුවරියන්ට සුදුසු ගවුමක් අධ්‍යාපන අමාත්‍යංශයට නිර්දේශ කරලා තියනවා.
ගවුමට කළ පර්යේෂණ
Matemity frock නිර්මාණය කරන්න කියලා අධ්‍යාපන අමාත්‍යංශය විසින් මේ සඳහා කමිටුවක් පත්කළා. ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය විජිත් විද්‍යාභූෂණ මහතා ඇතුළු වෛද්‍යවරුන් පිරිසක්, ජනප්‍රිය පාසල් ඇතුළු අනෙකුත් පාසල් කිහිපයක විදුහල්පතිවරුන්, කලාප අධ්‍යක්ෂවරුන්, අතිරේක ලේකම්වරු, වෙන වෙනම පළාත් අධ්‍යක්ෂවරු, ගුරුවරියන් මෙන්ම අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතාද මෙම කමිටුව නියෝජනය කරනවා.
ලංකාවේ ඇඳුම් විලාසිතා පිළිබඳව ආචාර්ය උපාධිය පළමුවරට ලබාගත්තේ මමත් ආචාර්ය ගයත්‍රි මධුභානි මහත්මියත්. එම නිසා මෙම ඉතිහාසගත වන ගවුමේ නිර්මාණකරණය අධ්‍යාපන අමාත්‍යංශය විසින් අපි දෙන්නට පැවරුවා. මෙම ඇඳුම පාසලට ඉදිරිපත් කිරීමෙන් ඇතිවන ගැටලු කමිටුව හරහා විමසා බැලුවා. නියැදි වශයෙන් පාසල් කිහිපයක් තෝරා දුන්නා. ඒ පාසල්වල මාස 3 සිට මාස 9 දක්වා ගර්භණී අවස්ථාවල සිටින ගුරුවරියන්ගේ ගැටලු සාකච්ඡා කළා. සමහරු අකමැති වුණා මේ සම්ප්‍රදායෙන් මිදෙන්න. අධ්‍යාපන අමාත්‍යංශය විසින් ප්‍රශ්නාවලියක් හදල දුන්නා ඒ අයගේ මතය විමසන්න. එම කරුණුත් උපයෝගී කරගෙන තමයි මෙම නව නිපැයුම නිර්මාණය කිරීමට සැලසුම් කළේ.”
ගර්භණීභාවය ආරම්භයේ සිට මාස තුනේ සිට උදරය විශාලවීම ක්‍රමානුකූලව සිදුවේ. එමෙන්ම පියයුරු ද කිරිවලින් පිරෙන්නට පටන් ගන්නේ මෙළොව එළිය දකින කිරිකැටියාගේ කුස පුරවන්නටය. දිග පළල වෙනස් නොවන සාරියට කටු ගසා ඉදිරියට නෙරා එන උදරය වසාගෙන ඒමට ගර්භණි ගුරුවරියෝ අසීමිත මහන්සියක් ගනිති. පිරිමි දරුවන් ඉගෙන ගන්නා පාසල් තුළදී ඇය තවත් පරිස්සම්වන්නීය. මෙවැනි තත්ත්වයන් තුළ ගුරු ගෞරවය රැකෙන පරිදි සහ සම්ප්‍රදායට, සංස්කෘතියට හානියක් නොවන පරිදි නිමවූ මෙම ගවුම කාලෝචිතය. එය ඔවුන්ට ඇඳීමට ඇත්තේ මාස 3 – 9 අතර කාලයේය. එයිනුත් පාසල් නිවාඩුව අත්හළ විට තවත් දින ගණනක් අඩුවේ.
සම්ප්‍රදායෙන් නූතනත්වය කරා යමින් ලංකාවේ සාම්ප්‍රදායික ඇඳුම්වලින් ආභාසය ගෙන මෙම ඇඳුම නිර්මාණය කිරීම පිළිබඳව අප හා අදහස් දැක්වූ ආචාර්ය ගයත්‍රි මධුභානී රණතුංග මහත්මිය – “අතීතයේ සිට මහනුවර යුගයේ අවසානය තෙක් භාවිතා කළ ඇඳුම් පිළිබඳ අපි පර්යේෂණ කළා. මෙය ඉතිහාසගත වන වැඩක්නේ. ගුරුවරියක් ගවුමකින් සැරසී පාසලට පැමිණීම සහ එම විශේෂිත ගවුම නිර්මාණය කිරීම. විද්‍යාජෝති සම්මානිත මහාචාර්ය නිමල් ද සිල්වා මහතා තමයි අපට උපදෙස් දුන්නේ මේ ඇඳුම සංස්කෘතිකමය වටිනාකමක් සහිතව නිපදවන්න. එතුමාගේ අනුදැනුම යටතේ තමයි මේ පර්යේෂණය සිදුකළේ.
අතීත සම්ප්‍රදාය, විදේශීය සම්ප්‍රදාය ඇතුළු හැමදේම තුළින් අලුත් නිර්මාණයක් කරන්නයි අපට ඕනෑ වුණේ. මේක ක්‍රියාවලියක්.
1. පර්යේෂණය
2. සංකල්ප වැඩිදියුණු කිරීම
3. මෝස්තරය වැඩිදියුණු කිරීම
4. මෝස්තරය නිපැයුමක් බවට ප්‍රවර්ධනය කිරීම ඊට අයත් වුණා.
මේ ක්‍රියාවලිය තුළ ඇඳුම හදන විට සුදුසු අනුප්‍රාප්තියක් ගන්න ඕන. තේමාව වුණේ සාම්ප්‍රදායික ඇඳුම. ඒ ආශ්‍රිතව සංකල්පයක් ගොඩනඟාගෙන මේ සම්ප්‍රදාය නූතනත්වය කරා ගෙන ගියා.
ලංකාවේ ඓතිහාසික යුගවල එන ඇත් දළ කැටයම් සහ විහාර බිතුසිතුවම් වලින් නිරූපණය වන ඇඳුම් පිළිබඳ සටහන් අප භාවිතා කළා. දැනට ඉතිරිව ඇති පහළොස්වන ශත වර්ෂයේ කෝට්ටේ යුගයට අයත් ඇත්දළවලින් නිර්මාණය කරන ලද මංජුසාවක් එංගලන්තයේ වික්ටෝරියා සහ ඇල්බට් කෞතුකාගාරවල තියනවා. මෙම ඇත්දළ මංජුසාවේ නිරූපණය වන රාජකීය කාන්තාවන් දෙදෙනකුගෙන් එක් අයකු ඇඳගෙන සිටින ‘මන්තය’ සහිත ඇඳුම්, මහනුවර යුගයේ බිතුසිතුවම්වල එනම්, ලේවැල්ල ගංගාරාමය, මහනුවර දෙගල්දොරුව විහාරය වැනි විහාරවල රාජකීය කාන්තාවන් සහ කුලවත් කාන්තාවන් ඇඟලා සිටින මන්තය අපි අධ්‍යයනය කළා. රජුගේ, බිසවගේ, කුලවත් කාන්තාවන්ගේ ඇඳුම්වල මන්ත සහිත කොටස් දක්නට ලැබෙනවා. මේ මන්ත සහිත කොටස නව ගුරු ඇඳුම සඳහා යොදා ගත්තේ ගෞරවනීය බවක් ඇඳුමට එක් කිරීමටයි. වර්තමානයේ ළමා සාරියේ මෙම මන්තය දකින්නට පුළුවන්.”
අතීත නූතන සංකලනයෙන්
ගර්භණී සමයේ විශාලවන පපු ප්‍රදේශය වැහෙන තරමට මෙම මන්ත කොළරය උදරය තෙක් පහළට නිර්මාණය කොට තිබේ. එයට නූතන විලාසිතාවක් එක්කරමින් පින්ක් ටක්ස් (pink tucks) ශිල්ප ක්‍රමය යොදා ඇත. මහනුවර යුගයේ සැරසිලි මෝස්තර රටා නව ආකාරයට ප්‍රතිනිර්මාණය කරමින් මෙම රටාව නිර්මාණය කර ඇති අයුරු අපූරුය. ලංකාවේ සාම්ප්‍රදායික කාන්තාවන්ගේ ඇඳුම්වල යටිකය කොටසට රැළි සහ ඔපනැලි යොදා ගත් පරිදි මේ ඇඳුමටද අඩිය තැබීමේ පහසුව මෙන්ම ඉඳගැනීමේ පහසුව සඳහා වැඩි අවකාශයක් ලබාගැනීම සඳහා බොක්ස් ෆ්ලීට් (Box fleet) එකක් එකතු කර ගැනිණ. එය ශරීරයේ හැඩය පවත්වා ගැනීම සඳහා සකස් කරන ලද්දකි.
මන්ත කොළරය රහිත ගවුම් දෙකක් ද නිර්මාණය කෙරුණ අතර ඒවාට පින්ක් ටක්ස් මෝස්තරය පමණක් යොදාගෙන තිබේ. ගවුම් අත නිමවා ඇත්තේ ද සාමාන්‍ය ප්‍රමාණයටය. ඇඳුමේ නිමාව පවත්වාගෙන යෑම සඳහා ඊට මහත වාටියක් යොදා ඇත. පිටුපසින් මතුපිටට නොපෙනෙන සිපරයක් (invisible Zipper) යොදා තිබේ.
කපු මිශ්‍රිත රෙදි වන ලිනන්, චැලෙන්ජර් සහ විස්කෝස් රෙදි මෙම ගවුම සඳහා වඩාත් යෝග්‍ය බව ආචාර්ය විරාජිනී මහත්මිය පැවසුවාය. එමෙන්ම ගවුම් මෝස්තර 6ක් වර්ණ 6කින් නිර්මාණය කළ බවද ඇය පැවසුවා.
“මේ ඇඳුමට අමාත්‍යාංශයේ අනුමැතිය ලැබුණා. ඒ සඳහා චක්‍රලේඛනයක් නිකුත් කළා. මේ ඇඳුම අන්දලා ගර්භණි ගුරුවරියන් සතියක් පාසල් යවන්න කමිටුවෙන් තීරණය කළා. එහිදී එම පාසල්වලින් හොඳ ප්‍රතිචාර ලැබුණා. ගුරුවරියන්ට මෙය ඉතාම පහසුයි. ඒ වගේම ලස්සනයි. දරුවන්ගෙනුත් ඉහළ ප්‍රතිචාර ලැබුණා. තෝරා ගත් පාසල් කිහිපයක තමයි මෙම අත්හදා බැලීම් කළේ. විදුහල්පතිවරුන් 100%ක් කැමති වුණා. ගුරුවරියන්ගේ ස්වාමි පුරුෂයන් පවා මේ ඇඳුමට කැමැත්ත ප්‍රකාශ කළා. මේ ඇඳුමට අකමැති වුණු ගුරුවරියන්ද ඇන්දට පසුව එයට කැමති වුණා”. ආචාර්ය විරාජිනි මහත්මිය පැවසුවාය.
ජාතික වැඩසටහනක් ලෙස ජාතික ප්‍රතිපත්තියක පිහිටා අපගේ ඉතිහාසයට මෙන්ම සංස්කෘතික සම්ප්‍රදායටද කැළලක් නොවන පරිදි නිර්මාණය වුණු මෙම ඇඳුම සඳහා එහි නිර්මාතෘවරියන් දෙදෙනාට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ප්‍රශංසනාත්මක ලිපියක්ද ලබාදී තිබේ. පතරොම් සැකසීම සහ සාම්පල මැසීම සඳහා උපකාර කළ නිරෝෂා සමරවීර සහ ඉන්දු බෝගොඩ තාක්ෂණික නිලධාරිනියන්ටත්, තාක්ෂණික රූපසටහන් පරිගණකයේ නිර්මාණය කළ කථිකාචාර්ය ප්‍රමෝද් ගුණසිංහ මහතාටත් ආචාර්ය විරාජිනී මහත්මිය සිය ස්තූතිය පළ කළාය.
***************************
ලංකාවේ ඇඳුම් විකාශනය
* ලාංකික ජනතාවගේ ඇඳුම් ආයිත්තම් සම්ප්‍රදාය ප්‍රථමවරට වෙනසකට භාජනය වුයේ නිදහස ලැබීමට වසර 17කට පෙරය. එනම් 1931 ජුලි 24 වන දින ජාතික ප්‍රතිසංස්කරණ සංගමය (National Reform Society) විසින්ය. එම සංගමයට ජී. පී. මලලසේකර, සී. ද. ඇස්. කුලරත්න, ටී. දේවේන්ද්‍ර, ඩබ්ලිව්. ඒ. ඩී. සිල්වා සහ සී. සුන්දරලිංගම් යන මහත්වරු ඇතුළත් වූහ. ඔවුන්ගේ තීරණය වූයේ පිරිමින් ජාතික ඇඳුම ලෙස රෙද්ද ඇඳිය යුතු අතර කාන්තාවන් සාරි ඇඳිය යුතු බවය.
* දෙවන ලෝක යුද්ධ සමයේ (1939 – 1945) රෙදි නිපදවීම අඩුවීම නිසා රජයේ නිලධාරින්ට කලිසම සහ කමිසය ඇඳීමට ඉඩ ප්‍රස්ථාව සැලසුනි.
* අප රටට නිදහස ලබන්නට ආසන්න කාලයේදී ද්‍රවිඩ පිරිස රෙද්ද සහ අත්දිග කමිස ඇඳීමට පටන් ගත් අතර මුනිදාස කුමාරතුංග, ආචාර්ය ඊ. ඩබ්ලිව්. අධිකාරම්, මහාචාර්ය එම්. ඩී. රත්නසූරිය වැනි සිංහල බුද්ධිමත්තු සහ දේශපාලනඥයෝ ද මෙම ඇඳුම අනුගමනය කිරීමට පටන් ගත්හ.
* නිදහසෙන් වසර 8කට පසු එනම්, 1956 දී ජාතික ඇඳුම කෝට් එක සහ සරම ලෙස නැවත වෙනස්වීමකට ලක් වූයේ එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක මහතාගේ කාලවකවානුවේදීය. එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක, ආචාර්ය සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නන්ගර, ආචාර්ය එස්. ඒ. වික්‍රමසිහ සහ ලෙස්ලි ගුණවර්ධන වැනි ප්‍රභූවරු මෙම ඇඳුම ප්‍රසිද්ධියේම ඇන්දාහ.
* නිදහසින් වසර 11කට පසු 1959 පැවති බල පෙරළියෙන් පසුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දිවුරුම් දුන්නේ ජාතික ඇඳුමින් සැරසීය. සී. ඒ. එස්. මරික්කාර් ඇතුළු බහුතර ද්‍රවිඩ මන්ත්‍රීවරුද ජාතික ඇඳුම ඇන්දහ.
* ඉන්පසු රටේ ජාතික ඇඳුම සම්ප්‍රදාය වෙනසකට ලක්කරන ලද්දේ රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා විසින් 1991 වසරේ දීය. එය අත්දිග කමිසය, ටයිපටිය, කලිසම සහ සපත්තු ලෙස වෙනස් කෙරිණි.
* ඉන් වසර 26කට පසු සිදුවූ ආසන්නතම සිදුවීම වූයේ පසුගිය වසරේ 2017 ජනවාරි 09 වන දින මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් ප්‍රසිද්ධ වේදිකාවකදී කළ ප්‍රකාශයයි. ටයි කෝට් පැලඳ ඉතා අපහසුවෙන් ගිනි අව්වේ සිටි පුද්ගලයින් දැක එවැනි ඇඳුම් සම්ප්‍රදායක් රටට අවශ්‍ය නැති බව ප්‍රකාශ කිරීමයි ඒ.
සටහන – චතුමී පිටිපන
ඡායාරූප – රොෂාන් පිටිපන
උපුටා ගැනීම – දිනමිණ පුවත්පතෙන්