හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර ඇති තවත් නඩු දෙකකට අදාළව ඔහුට විදේශගතවීම සඳහා අධිකරණය අද අවසර ලබා දුන්නා.
ඒ එම නඩු අද කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා සහ කොළඹ වාණිජ මහාධිකරණ විනිසුරු ආර් ගුරුසිංහ මහතා හමුවේ කැදවූ අවස්ථාවේදීයි.
ඉකුත් ජනාධිපතිවරණය සමයේ දිවිනැගුම අරමුදල් සාවද්‍ය ආකාරයට පරිහරණය කළේ යැයි චෝදනා කරමින් එම නඩු ගොනු ගොනු කර තිබෙනවා.
එහිදී බැසිල් රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු සඳහන් කර සිටියේ බැසිල් රාජපක්ෂ මහතාට වෛද්‍ය ප‍්‍රතිකාර ලබාගැනීම සඳහා ඇමරිකාවට යාමට අවශ්‍යව ඇති බවයි.
ඒ අනුව අගෝස්තු මස 10 වන දා සිට ඔක්තෝබර් මස 31 වනදා දක්වා කාලය තුල ඔහුට පනවා ඇති විදෙස් ගමන් තහනම ලිහිල් කරන ලෙස නීතීඥවරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියා.
බැසිල් රාජපක්ෂ මහතාට එරෙහිව ගොනු කර ඇති පයිප්ප බට මිලදී ගැනීමට අදාල නඩුව ඊයේ කැදවූ අවස්ථාවේදීද ඔහුට විදේශගත වීම සදහා අවසර හිමිවුනා.
මේ අතර පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්දානන්ද අලූත්ගමගේ මහතාට එරෙහිව ගොනු කර තිබෙන නඩුව ඔක්තෝම්බර් මස 10 වනදා විභාගයට ගැනීමට අධිකරණය නියෝග කලා.
ඒ එම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන් මහතා හමුවේ සලකා බැලූ අවස්ථාවේදීයි.
මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා නොමැති විනිසුරු මඩුල්ලක් හමුවේ විභාගයට ගන්නා ලෙස අභියාචනාධිකරණය ඉකුත්දා නියම කර තිබුණා.
ඒ අනුව අදාල නඩුව විනිසුරු සම්පත් අබේකෝන් මහතා ඉදිරියේ විභාගයට ගැනීමට නියම කළ අතර එදිනට සාක්ෂි දීම සඳහා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සාක්කිකරුවන්ට නියම කර තිබෙනවා.
පසුගිය රජය සමයේ අයථා ආකාරයෙන් උපයාගත් රුපියල් මිලියන 27 ක මුදලක් වැයකොට කොළඹ කින්සි පාරේ නිවසක් මිලදී ගැනීමේ චෝදනාව මත මෙම නඩුව ගොනු කර ඇත්තේ නීතිපතිවරයා විසින්.
Siyatha Top Story | 02:00 PM | Editor : Amila Udaraka