News Line| Off Air
Generic placeholder image

Jul
29

රට රටවල මරණ දඬුවම දෙන හැටි මෙන්න…

3552 Views


රට රටවල මරණ දඬුවම දෙන හැටි මෙන්න…

මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතුද නැද්ද යන්න මේ දවස්වල අපේ රටේ ඉතා උණුසුම් විවාදයක් බවට පත්ව තිබේ. මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම මේ වනවිට බොහෝ රටවල් අහෝසි කරමින් යන කටයුත්තක් බවට පත්ව ඇති අතර මානව හිමිකම් සංවිධාන ආදිය ද ඒ වෙනුවෙන් දැඩි බලපෑම් කරමින් සිටින බව රහසක් නොවේ. කෙසේ නමුත් තවමත් ලෝකයේ රටවල් රැසක් මෙම දඬුවම ක්‍රියාත්මක කරන බව ද ප්‍රසිද්ධ කාරණයකි.

ඒ අතර ලෝකයේ දියුණුම රටවල් යැයි පිළිගැනෙන රටවල් ද කිහිපයක්ම සිටියි. ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් හොඳින් ක්‍රියාත්මක කරන රටක් ලෙස සැලකෙන ඇමෙරිකා එක්සත් ජනපදය ද ඒ අතර වෙයි. චීනය, ජපානය, දකුණු කොරියාව ද මරණ දඬුවම ක්‍රියාත්මක කරන දියුණු රටවල් අතරට ගැනේ. (දකුණු කොරියාවේ මේ වනවිට මේ සම්බන්ධයෙන් යම් වාරණයක් පවතින බව ද සඳහන් වේ.) මේ අතරින් වැඩිම වශයෙන් මරණ දඬුවම ලබා දෙන රට ලෙස සැලකෙන්නේ චීනය යි. 2016 වසර තුළ පමණක් දහසකට අධික පිරිසක් මේ ආකාරයෙන් මරා දමන ලද බව සඳහන් වෙයි. නමුත් චීනය බොහෝ තොරතුරු රහසිගතව තබා ගන්නා රටක් නිසා මේ පිළිබඳ නිශ්චිත සංඛ්‍යාවක් දැන ගැනීම පහසු නොවේ.

කලින් එය ක්‍රියාත්මක කරමින් සිටි රටවල් 141 ක් මේ වනවිට එය නීති පොතෙන් ද ඉවත් කර ඇති බව ජාත්‍යන්තර ක්‍ෂමා ආයතනය (ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්) පවසයි. රටවල් 57 ක් මරණ දඬුවම නීතියක් හැටියට පවත්වාගෙන ගියත් මෑත කාලයේ එය ක්‍රියාවට නඟා ඇත්තේ රටවල් 23 ක් පමණක් බවද එම ආයතනය සඳහන් කරයි. එල්ලා මැරීම, වෙඩි තැබීම, හිස ගසා දැමීම, විෂ එන්නත් කිරීම, විදුලි පුටුව වැනි ක්‍රම මඟින් මෙම රටවල් මරණ දඬුවම ක්‍රියාත්මක කරයි. චීනයෙහි මෙම දඬුවම බොහෝ දුරට ලබා දෙන්නේ වෙඩි තැබීම මගිනි. විෂ එන්නත් කිරීම ද ඇතැම් අවස්ථාවල ක්‍රියාත්මක කෙරේ. වෙඩි තැබීමේදී සාමාන්‍යයෙන් කිහිප දෙනකුගෙන් සමන්විත වෙඩික්කරුවන් කණ්ඩායමක් යොදා ගැනෙන අතර පතරොමක් අඩංගු වන්නේ ඒ අතරින් එක් තුවක්කුවක පමණක් බවද පැවසේ. ඒ නිසා අදාළ වැරදිකරු මිය ගියේ කාගේ වෙඩි පහරින්ද යන්න වෙඩික්කාරයන්ට දැන ගැනීමට අවස්ථාවක් ලැබෙන්නේ නැත. එය මරණයෙහි වගකීම පිළිබඳ හැඟීම ඉවත් කිරීම සඳහා කෙරෙන්නක් ලෙසිනි සැලකෙන්නේ.

චීනයට අමතරව වියට්නාමය, උතුරු කොරියාව, ඉන්දුනීසියාව වැනි ආසියාතික රටවල් ද මෙම ක්‍රමයට මරණ දඬුවම ක්‍රියාවට නඟයි. ඇමෙරිකාව තුළ මෙම දඬුවම ලබාදීමේදී බහුල වශයෙන් යොදා ගන්නේ විෂ එන්නත් කිරීමේ ක්‍රමයයි. විදුලි පුටුව ද මෑතක් වනතුරුම බහුලව යොදාගත් ක්‍රමයක් විය. නමුත් එය වඩාත් කෘෘර ක්‍රමයක් ලෙස සැලකුණු නිසා එහි භාවිතය බොහෝ දුරට අඩු වී ගිය බව පෙනේ. විෂ එන්නත් කිරීමෙන් මරණ දඬුවම ක්‍රියාවට නැඟීමේදී රසායනිකයන් තුනක් ඒ සඳහා යොදා ගැනේ. එකක් සිහි විසඥ කිරීම සඳහා ද, තවෙකක් මාංස පේශීන් අකර්මණ්‍ය කිරීම සඳහා ද, අනෙක හෘදයේ ක්‍රියාකාරිත්වය නතර කිරීම සඳහා ද වශයෙනි. හිස ගසා දැමීමෙන් මරණ දඬුවම ක්‍රියාත්මක කරන්නේ සෞදි අරාබිය වැනි රටවල බව කවුරුත් දන්නා කාරණයකි.

ඉරානය, ඉරාකය, ජපානය, පාකිස්තානය වැනි රටවල බොහෝ දුරට මරණ දඬුවම ලබා දෙන්නේ එල්ලුම් ගස මඟිනි. ප්‍රසිද්ධියේ මරණ දඬුවම ලබා දීම ද ඇතැම් රටවල ක්‍රියාත්මක වෙයි. නමුත් මෙහි ඇති දැඩි අමානුෂික බව හේතුවෙන් බොහෝ රටවල් දැන් මෙම ක්‍රමය අත්හරිමින් සිටින බව ද පෙනේ. ක්‍ෂමා ආයතනය සඳහන් කරන ආකාරයට මෑත කාලයේ මේ ආකාරයෙන් මරණ දඬුවම ක්‍රියාවට නඟා ඇත්තේ සෞදි අරාබිය, ඉරානය, උතුරු කොරියාව, සෝමාලියාව වැනි රටවල් ය.

මරණ දඬුවම ලබා දීමට හේතු වන අපරාධ ද සමහර විට රටින් රටට වෙනස් වේ. දේශපාලන හේතු මත කරන ජන සංහාර වැනි අපරාධ ද, මිනීමැරීම, මත්ද්‍රව්‍ය ජාවාරම, ත්‍රස්තවාදී ක්‍රියා, ඔත්තු බැලීම, රාජද්‍රෝහී කටයුතු, ස්ත්‍රී දූෂණ වැනි අපරාධ වෙනුවෙන් මරණ දඬුවම ලබා දීම බොහෝ රටවල සිදුවෙයි.

මේ වනවිට පළ වී ඇති සංඛ්‍යාලේඛනවලට අනුව 2017 වසර තුළ ලොව පුරා අපරාධකරුවන් 993 දෙනකුට මරණ දඬුවම ලබා දී තිබේ. එය 2016 වසරට සාපේක්‍ෂව සියයට 4ක අඩුවීමක් බවද සඳහන් වේ. 2016 වසරේ 1,032 දෙනකුට ද, 2015 වසරේ 1,634 දෙනකුට ද මරණ දඬුවම ලබා දී ඇත. මේ වනවිට ලොව පුරා මරණ දඬුවමට නියම වී සිටින අපරාධකරුවන් සංඛ්‍යාව 22,000 කට ආසන්නය. මේ අතරින් වැඩිම වශයෙන් මරණ දඬුවම නියම කෙරෙන රටවල් ලෙස සැලකෙන්නේ චීනය, උතුරු කොරියාව, ඉරානය, ඉරාකය, සෞදි අරාබිය, පාකිස්තානය ආදියයි. මරණ දඬුවම නියම කිරීම්අතරින් සියයට 90 කට ආසන්න ප්‍රමාණයක් සිදුවන්නේ ඉහත රටවල බව වාර්තා වෙයි.

මරණ දඬුවම සම්පූර්ණයෙන්ම අහෝසි කර ඇති කලාපයක් ලෙස කැපී පෙනෙන්නේ යුරෝපයයි. බෙලාරුස්හි සහ රුසියාවේ හැරුණු කොට යුරෝපයේ සෙසු කිසිදු රටක මෙය ක්‍රියාත්මක වන්නේ නැත. රුසියාව තුළ ද මේ වනවිට මේ සම්බන්ධයෙන් කිසියම් වාරණයක් ක්‍රියාත්මක වෙයි.

කෙසේ හෝ වේවා, මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතුද නැද්ද යන්න පිළිබඳව ලෝකයේ බොහෝ තැන්වල නැවතත් වාද විවාද ඇති වෙමින් තිබෙන ආකාරය මෙකල දැක ගත හැකි වෙයි. ත්‍රස්තවාදී ක්‍රියා ඉහළ යෑම, මත්ද්‍රව්‍ය ජාවාරමේ ව්‍යාප්තිය, මිනීමැරුම්, ස්ත්‍රී දූෂණ, ළමා අපචාර ආදිය ඉහළ යෑම මෙයට හේතු වී ඇති බව ද සඳහන් කළ හැකිය. කෙසේ නමුත් මරණ දඬුවමට එරෙහිව අදහස් පළ කරන බොහෝ දෙනා ඉදිරිපත් කරන ජනප්‍රිය තර්කයක් වන්නේ නීතියෙහි ඇති යම් යම් දුබලතා, විසමතා නිසා සැබෑ අපරාධකරුවන් නොවන අහිංසකයන් මෙම දඬුවමට ලක්වීමට ඉඩ ඇතැයි යන්නයි. එමෙන්ම ඇතැම් රටවල පවතින ජාතිවාදී, වර්ගවාදී තත්ත්වයන් මත සුළු ජාතිකයන් වැනි අව- වරප්‍රසාදිත පාර්ශ්ව වෙත අගතීන් සිදුවීමට ඇතිඉඩකඩ ද පෙන්වා දෙනු ලැබේ.

උපුටාගැනීම – සනත් වික්‍රමගේ Facebook


News Articles
Latest Videos
Most Popular Post