News Line| Off Air
Generic placeholder image

Nov
4

ලංකාවේ දේශපාලන අර්බුදය නිසා බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක්

1077 Views


ලංකාවේ දේශපාලන අර්බුදය නිසා බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ උණුසුම් තත්ත්වයක්

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාව එම තනතුරෙන් නෙරපා මහින්ද රාජපක්‍ෂ මහතාව නව අගමැති ලෙස පත් කිරීම හේතුවෙන් බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුව ද පසුගිය සතියේ උණුසුම් වුණා. බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ මන්ත‍්‍රීවරු විදේශ අමාත්‍ය ජෙරමි හන්ට් සහ ආසියානු කළාපය භාරව කටයුතු කරන මාක් ෆීල්ඞ් ඇමතිවරයා ගෙන් ශ‍්‍රී ලංකාව පිළිබඳව දිගින් දිගට ම ප‍්‍රශ්න කළ අතර ඔවුන් දෙදෙනා ම පවසා සිටියේ ජනාධිපති සිරිසේන මහතා ව්‍යවස්ථාව අනුව කටයුතු කර නොමැති බවත් බි‍්‍රතාන්‍ය සහ ජාත්‍යන්තරය තවමත් ශ‍්‍රී ලංකාවේ අග‍්‍රාමාත්‍යවරයා ලෙස පිළිගන්නේ රනිල් වික‍්‍රමසිංහ මහතාව බවයි.

ගැරත් තෝමස් මන්ත‍්‍රීවරයා පවසා සිටියේ මහින්ද රාජපක්‍ෂ මහතා මානුෂික අයිතිවාසිකම් සුරැකීම අතින් ඉතා පහත් මට්ටමක සිටින බවත් සිරිසේන මහතා රාජපක්‍ෂ මහතාව ඉවත් නොකළහොත් බි‍්‍රතාන්‍ය රජය අනෙකුත් යුරෝපා රටවල් සමග එකතුවී ඔවුන් ගේ බලය පෙන්විය යුතු බවත් ය. එයට පිළිතුරු දුන් මාක් ෆීල්ඞ් ඇමතිවරයා කියා සිටියේ සිරිසේන ජනාධිපතිවරයා ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුව කැඳවා ව්‍යවස්ථාව අනුව කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බවත් එසේ නැතහොත් මුළු ජාත්‍යන්තර ප‍්‍රජාව සමග ම ශ‍්‍රී ලංකාවට බල කළහොත් වඩා ප‍්‍රතිඵලදායී බවත්ය.

බ්‍රිටිශ් පර්ලිමෙන්ට් සියෝබේන් මැක්ඩොනා මන්ත‍්‍රීවරිය කියා සිටියේ මහින්ද රාජපක්‍ෂ නැවත බලයට පැමිණෙතැයි තමාගේ මැතිවරණ කොට්ඨාසයේ වෙසෙන දෙමළ ජනයා තැතිගෙන භීතියෙන් සිටින බවත් ඔහු බලයට පැමිණියහොත් ශ‍්‍රී ලංකාව තුළ අවනීතිය රජ කරන බවත් වසර නවයකට පෙර අතුරුදහන්වූ තම ඥාතීන් පිළිබඳව තොරතුරක් මෙතෙක් ලැබී නොමැති බවත් ය.

එයට පිළිතුරු දුන් මාක් ෆීල්ඞ් ඇමතිවරයා කියා සිටියේ ඔහු මැක්ඩොනා මන්ත‍්‍රීවරිය සමග එකඟවන බවත් පසුගිය ඔක්තෝබර් මාසයේ ශ‍්‍රී ලංකාවේ සංචාරයක යෙදුනු බවත් එවක සිටි විදේශ අමාත්‍ය මාරපන මහතා සහ මානුෂික අයිතිවාසිකම් සුරැකීම වෙනුවෙන් වෙහෙසෙන පුද්ගලයින් සමග සාකච්ඡා කළ බවත් ශ‍්‍රී ලංකාව මානුෂික අයිතිවාසිකම් සුරැකීම පිළිබඳව එක්සත් ජාතීන් ගේ සංවිධානයට දී ඇති ප‍්‍රතිඥා ඉටු කරුනු ඇතැයි විශ්වාස කරන බවත් ය.

ශ‍්‍රී ලංකාව තුළ නීතිය ක‍්‍රියාත්මක වීම පිළිබඳව බි‍්‍රතාන්‍ය දරන මතය පිළිබඳව රනිල් ජයවර්ධන මන්ත‍්‍රීවරයා විමසා සිටි අතර එයට පිළිතුරු දුන් විදේශ අමාත්‍ය ජෙරමි හන්ට් කියා සිටියේ ශ‍්‍රී ලංකා රජය ව්‍යවස්ථානුකූලව ක‍්‍රියා කරනු ඇතැයි තමා බලාපොරොත්තු වන බවයි.

හියුගෝ ස්වායර් මන්ත‍්‍රීවරයා කියා සිටියේ ශ‍්‍රී ලංකා ජනාධිපතිවරයා ව්‍යවස්ථාවේ 19වන සංශෝධනයට පටහැනිව ක‍්‍රියා කර ඇති බවත් වහා ම පාර්ලිමේන්තුව කැඳවා සාධාරණය ඉෂ්ට කළ යුතු බවත් ය . එයට පිළිතුරු දුන් විදේශ අමාත්‍ය ජෙරමි හන්ට් කියා සිටියේ තමා සිරිසේන මහතාට දුරකථනයෙන් කතා කොට ඒ බව දන්වන බවයි.

මේ අතර ශ‍්‍රී ලංකාවේ දෙමළ ජනයාවෙනුවෙන් බි‍්‍රතාන්‍ය පාර්ලිමේන්තුවේ පෙනී සිටින ශ‍්‍රීමත් එඞ්වඞ් ඩැවී, ටොම් බ්‍රේක්, තෙරේසා විලියර්ස්, සියෝබේන් මැක්ඩොනා, සැක් ගෝල්ඞ්ස්මිත්, වෙස් ස්ටි‍්‍රටින්, බොබ් බ්ලැක්මන්, ජොඈන් රයන්, ස්ටීවන් ටිම්ස්, මයික් ගේප්ස් සහ විරේන්ද්‍ර ශර්මා යන මන්ත‍්‍රීවරුන් ගේ අත්සනින් යුතුව විදේශ අමාත්‍ය ජෙරමි හන්ට් වෙත ලිපියක් යවමින් කියා ඇත්තේ ජාත්‍යන්තරය සමග එකතුවී මහින්ද රාජපක්‍ෂ නැවත බලයට පත්වීම වළක්වන ලෙස යි. එසේ ම මෙම තත්ත්වය පිළිබඳව ඉන්දියානු රජය සහ චීන රජය සමග ද සාකච්ඡා කරන ලෙස ඔවුන් දන්වා තිබේ.

මහින්ද රාජපක්‍ෂ නැවත බලයට පැමිණියහොත් දෙමළ ජනයාට සාධාරණය ඉෂ්ට නොවන බව ඔවුන් එම ලිපියෙන් අවධාරණය කර තිබෙනවා.

මේ තත්ත්වය පිළිබඳව වර්තමාන විදේශ අමාත්‍ය සරත් අමුණුගම මහතා ගෙන් විමසා සිටි විට ඔහු කියා සිටියේ ජනාධිපති සිරිසේන මහතා විදේශ තානාපතිවරුන් කැඳවා කරුණු වටහා දී ඇති බවයි.


News Articles
Latest Videos
Most Popular Post