ඉදිරි දින දෙක ඇතුළතදී දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් හතර දෙනක් මහින්ද රාජපක්‍ෂ මහතාට සහාය පළකිරීම සඳහා එක්වීමට ඇති ඉඩකඩ තිබෙන බව දෙමළ ජාතික සන්ධානයෙන් වෙන්ව ස්වාධීන වූ වන්නි දිස්ත‍්‍රික් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ශිවශක්ති ආනන්දන් මහතා පෙරේදා 3 දා පවසා තිබෙනවා.
තමන් මුලින්ම කවරකුටවත් සහාය නොදක්‌වා සිටීමට සූදානමින් සිටියත් පළාතේ ජනතාවගේ ඉල්ලීමත් පළාත් සංවර්ධනය කිරීමටත් අවස්‌ථාවක් ලැබීම නිසා ඉදිරියේදී මහින්ද රාජපක්‍ෂ මහතාට සහාය පළකිරීමට එක්‌වන බව පවසා සිටියා.
මේ එක්‌වීම නිසා තමන්ට අමාත්‍ය පදවියක් ලැබීමට ඉඩ ඇති බව කී මන්ත්‍රීවරයා තමන්ගේ මන්ත්‍රී පදවියෙන් වන්නියේ ජනතාවට කළ සේවයට වඩා විශාල සේවාවක් එවිට කළ හැකි නිසා තමන් මෙම තීරණය ගත් බවද කියා සිටියේය.
තමන්ට අමතරව දෙමළ ජාතික සන්ධානයේ යාපනය දිස්‌ත්‍රික්‌කයේ මන්ත්‍රීවරුන් වන පී. සරවනබවන්, ටී. සිද්ධාර්ථන් යන මන්ත්‍රීවරුද කිළිනොච්චියේ එස්. ශ්‍රීධරන් මන්ත්‍රීවරයාද, මුලතිව් චාර්ල්ස් නිර්මලනාදන් මන්ත්‍රීවරයාද, ඉදිරි දින දෙක ඇතුළත මහින්ද රාජපක්‍ෂ මහතාට සහාය දැක්‌වීමට එකතු වීමට නියමිත බව ශිවශක්‌ති ආනන්දන් මන්ත්‍රීවරයා පැවැසීය.
දෙමළ ජාතික සන්ධානය කියා සිටියේ ශිවශක්‌ති ආනන්දන් මන්ත්‍රීවරයා දෙමළ ජාතික සන්ධානයෙන් ඉවත්ව ස්‌වාධීන වී සිටින මන්ත්‍රීවරයකු නිසා ඔහු පිළිබඳව යමක් ස්‌ථිරව ප්‍රකාශ කළ නොහැකි බවයි.