News Line| Off Air
Generic placeholder image

Nov
20

යාපනයේ හිටපු විනිසුරු ඉලංචේලියන්ට වෙඩි තැබූ සිද්ධියේ සැකකරුවන්ට ඇප

464 Views


යාපනයේ හිටපු විනිසුරු ඉලංචේලියන්ට වෙඩි තැබූ සිද්ධියේ සැකකරුවන්ට ඇප

යාපනය මහධිකරණ විනිසුරුවරයා වශයෙන් කටයුතු කළ මනික්කවාසගර් ඉලංචෙලියන්ව ඉලක්ක කර යාපනයේදී සිදු කළ වෙඩි තැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු සැකකරුවන් තුන් දෙනා ඇප මත නිදහස් කිරීමට යාපනය මහධිකරණ විනිසුරු අන්නාලිංගම් ප්‍රේමචන්ද්‍රන් ඊයේ (19) නියෝග කර තිබෙනවා.

2017 ජූලි මස 22 දා යාපනයේ නල්ලූර් කෝවිල අසලදී මහාධිකරණ විනිසුරුවරයා ඉලක්ක කරගෙන පිස්තෝලයකින් වෙඩි තැබීම නිසා විනිසුරුවරයාගේ ආරක්ෂාවට සිටි පොලිස් සැරයන් එච්.ජී. හේමචන්ද්‍ර මිය ගිය අතර තවත් පොලිස් නිලධාරියෙකු තුවාල ලැබුවා.

මේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු යාපනය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔවුන්ව රිමාන්ඩ් බාරයේ තැබීමට අධිකරණය නියෝග කළ අතර ඔවුන්ට මේ දක්වාම ඇප හිමි වූයේ නෑ.

මේ පිළිබඳව වූ නඩු විභාගය පැවති අවස්ථාවේදී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් මහාධිකරණයට දන්වා සිටියේ මේ විත්තිකරුවන් කාලාන්තරයක් තිස්සේ බන්ධනාගාරගතව සිටින නිසා යම් ඇපයක් මත ඔවුන්ව නිදහස් කරන ලෙසයි.

මේ පිළිබඳව සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා එක් විත්තිකරුවකුට රුපියල් ලක්ෂ දෙක බැගින් වූ මුදල් ඇප හා එක් අයෙකුට රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප මත ඔවුන්ව නිදහස් කිරීමට නියෝග කළා.

මේ විත්තිකරුවන් තිදෙනාට විදෙස් ගමන් තහනම් කළ විනිසුරුවරයා සතියේ සැම බ්‍රහස්පතින්දාවකම යාපනය මහාධිකරණයට පැමිණ එහි අත්සන් තබන ලෙසද නියෝග කළා.


News Articles
Latest Videos
Most Popular Post