News Line| Off Air
Generic placeholder image

Nov
20

ආණ්ඩු පක්‍ෂය හා විපක්‍ෂය නැවත ගැටෙයි

1443 Views


ආණ්ඩු පක්‍ෂය හා විපක්‍ෂය නැවත ගැටෙයි

පාර්ලිමේන්තුවේ තේරීම් කාරක සභාවේ බහුතර බලය සම්බන්ධයෙන් යළිත් ආණ්ඩු පක්‍ෂය හා විපක්‍ෂය අතර මතගැටුමක් නිර්මාණය වී තිබෙනවා.

තේරීම් කාරක සභාවේ සාමාජිකයින් 12 දෙනාගෙන් හත්දෙනෙකු තම පාර්ශ්වයට අවශ්‍ය බවයි ආණ්ඩු පක්‍ෂය පවසන්නේ. ඉතිහාසය තුළ ගත් කළද ආණ්ඩු පක්‍ෂයට තේරීම් කාරක සභාවේ බහුතරය හිමිවන බව ආණ්ඩු පක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක, අමාත්‍ය එස්. බී. දිසානායක මාධ්‍යය වෙත ප‍්‍රකාශ කළා.

කෙසේවෙතත් ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර අනුර කුමාර දිසානායක ප‍්‍රකාශ කළේ අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා නියෝජනය කරන පාර්ශ්වයට තේරීම් කාරක සභාවේ බහුතර බලයක් ලබාදිය නොහැකි බවයි.

එක්සත් ජාතික පෙරමුණද පවසන්නේ තේරීම් කාරක සභාවේ බහුතරය තමන්ට හිමිවිය යුතු බවයි. මේ වනවිට ආණ්ඩුවක් නොමැතිවීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ බහුතරයක් ඇති පාර්ශ්වයට තේරීම් කාරක සභාවේ බහුතරයද හිමි විය යුතු බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර වජිර අබේවර්ධන සඳහන් කළා.

මේ අතරතුර පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ ආණ්ඩු පක්‍ෂයේ සාමාජිකයින් නම් කිරීම අද (20) දිනයේ සිදුකරන බවට වාර්තා පළ වුණා. ඒ පිළිබද මාධ්‍යය කළ විමසීමකදී ආණ්ඩු පක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක, අමාත්‍ය එස්. බී. දිසානායක සඳහන් කළේ තවමත් එය සිදු කර නොමැති බවයි. තේරීම් කාරක සභාවේ බහුතරය පිළිබදවද හෙතෙම පැහැදිළි කර සිටියා.

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව නියෝජනය කිරීම සඳහා ස්වකීය නියෝජිතයින්ගේ නම් නොපමාව පාර්ලිමේන්තු මහලේකම්වරයා වෙත දැනුම් දෙන ලෙසටයි සියළු පක්‍ෂ නායකයින්ට කථානායක කාර්යාලය දැනුම් දී ඇත්තේ.

මෙලෙස තේරිම් කාරක සභාවක් පත් කිරීමට තීරණය කෙරුණේ පාර්ලිමේන්තුවේ නව සභා වාරය ආරම්භවීමත් සමග එහි කි‍්‍රයාත්මක වන ස්ථාවර කාරක සභා සහ අනිකුත් කාරක සභා සඳහා නියෝජිතයින් පත් කළ යුතු බැවින් ඒවායේ සංයුතිය තීරණය කිරීම සඳහායි.


News Articles
Latest Videos
Most Popular Post