News Line| Off Air
Generic placeholder image

Dec
3

මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධූරය දැරීමට නීත්‍යානුකූල හිමිකමක් නොමැති බව කියමින් ගොනුකළ පෙත්සමට අදාළ නියෝගය

1318 Views


මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධූරය දැරීමට නීත්‍යානුකූල හිමිකමක් නොමැති බව කියමින් ගොනුකළ පෙත්සමට අදාළ නියෝගය

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් 49 දෙනෙකුට එම තනතුරු දැරීම වළක්වාලමින් අභියාචනාධිකරණය තහනම් නියෝගයක් නිකුත් කලා.

දීර්ඝ කරුණු විමසීකින් පසුව අභියාචනාධිකරණ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් මගින් මෙම නියෝගය ලබා දුන්නා.

ඒ අනුව පෙත්සම විභාග කිරීම සඳහා අවසර ලබා දුන් විනිසුරු මඩුල්ල පෙත්සම සම්බන්ධයෙන් ලබන 12 වනදා අධිකරණය හමුවේ කරුණු දක්වන්නැයි වගඋත්තරකරුවන් වෙත නොතීසිද නිකුත් කළා.

නිකුත් කර තිබෙන තහනම් නියෝගය නඩු විභාගය අවසන් වනතුරු බලපාන බවද නියෝගයේ සඳහන් වුණා.

එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, ජනතා විමුක්ති පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය , සමස්ත ලංකා මහජන කොංග්‍රසය යන පක්ෂවලට අයත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 122 දෙනෙකු පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

පෙත්සම්කාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කියා සිටින්නේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රීවරුන්ගේ සහයෝගය නොමැති බවත් ඒ බව කතානායකවරයා විසින් ද තහවුරු කර ඇති බවයි.

මේ හේතුවෙන් ආණ්ඩුකම ව්‍යවස්ථාව 19 වන සංශෝධනය ප්‍රකාරව මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධූරය දැරීමට නීත්‍යානුකූල හිමිකමක් නොමැති බවයි පෙත්සම්කරුවන් කියා සිටින්නේ.

මේ හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන ප්‍රකාරව මහින්ද රාජපක්ෂ මහතාට අග්‍රාමාත්‍ය ධුරය දැරීමට නීත්‍යානුකූල හිමිකමක් නොමැති බවට තීන්දු කොට ඔහුගේ සහ ඔහුගේ අමාත්‍ය මණ්ඩලයේ පත්වීම බල රහිත කිරීමේ ආඥාවක් නිකුත් කරන මෙන්ද පෙත්සම්කරුවන් අභියාචනාධිකරණයෙන් ඉල්ලා තිබෙනවා.

ඉකුත් සිකුරාදා පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා කරුණු දක්වමින් පෙත්සම්කරුවන් විසින් සඳහන් කරනු ලබන විශ්වාසභංග යෝජනාව විධිමත් ආකාරයට සම්මත වී නොමැති බව කියාසිටියා.

මුලින්ම ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව කටහඬ පදනම් කරගෙන සම්මත වී ඇති බව කතානායකවරයා නිවේදනය කළ බව කී ජනාධිපති නීතිඥ මාරපන මහතා ස්ථාවර නියෝග 47(1) යටතේ කතානායකවරයා එම යෝජනාව අති බහුතරයකින් සම්මත කර ඇති බව නිවේදනය කලේ යයි ද කියා සිටියා.

අදාල විශ්වාසභංග යෝජනාව විවාදයට ගනු ලැබුවේ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අත්හිටුවීමෙන් පසුව බව සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා ස්ථාවර නියෝග අත්හිටුවා තිබියදී ස්ථාවර නියෝග 47(1) යටතේ කටහඬ පදනම් කරගෙන ඡන්ද විමසීම සිදු කරන්නේ කෙසේදැයි ප්‍රශ්න කර තිබුනා.

පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබෙන අවස්ථාවක මෙවැනි යෝජනාවක් සම්මත කිරීමට හැකියාවක් නොමැති බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ මාරපන මහතා ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නීත්‍යානුකූල භාවය පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයක් පැවැත්වෙන හෙයින් ්‍රේෂ්ඨාධිකරණයෙන් තීරණයක් ලැබෙන තුරු මෙම පෙත්සම් සලකා නොබලන මෙන්ද ඉල්ලා තිබුණි.

එමෙන්ම අදාළ විශ්වාසභංග යෝජනා විධිමත් ආකාරයට සම්මත වී නොමැති හෙයින් මෙම පෙත්සම් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කරන මෙන්ද ජනාධිපති නීතිඥ මාරපන මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියා.

මෙහි වගඋත්තරකරුවන් ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු හතළිස් නව දෙනෙකු නම් කර තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post