News Line| Off Air
Generic placeholder image

Jan
7

ජනාධිපතිවරයාගේ මානසික තත්ත්වය පිළිබඳ පෙත්සමක් ගොනු කළ තක්ෂිලාට අධිකරණය දුන් තීන්දුව

537 Views


ජනාධිපතිවරයාගේ මානසික තත්ත්වය පිළිබඳ පෙත්සමක් ගොනු කළ තක්ෂිලාට අධිකරණය දුන් තීන්දුව

ජනාධිපතිවරයාගේ මානසික තත්ත්වය සම්බන්ධයෙන් තක්ෂිලා ලක්මාලි නැමැති කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිකාරියක් විසින් ගොනු කළ රිට් පෙත්සම විභාගයට නොගෙන මුල් අවස්ථාවකදීම ප්‍රතික්ෂේප කිරීමට අභියාචනාධිකරණය අද (07) නියෝග කරනු ලැබුවා.

කිසිදු ආකාරයක නිසි කරුණු හෝ නීතිමය පදනමකින් තොරව මෙම පෙත්සම ගොනු කර තිබෙන බැවින් එම පෙත්සම ගොනු කළ පෙත්සම්කාරියට රුපියල් ලක්ෂයක මුදලක් නඩු ගාස්තු ලෙසට රජයට ගෙවන ලෙසට අභියාචනාධිකරණය නියෝග කළා.

මෙම නියෝගය අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු ප්‍රීති පද්මන් සූරසේන සහ විනිසුරු අර්ජුන ඔබේසේකර යන ද්විපුද්ගල විනිසුරු මඩුල්ල විසින් ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

කොළඹ දිසා අධිකරණයේ අධිකරණ කටයුතු සිදු කිරීමට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ මානසික තත්ත්ත්වය පරික්ෂා කිරීමට පොලිස්පතිවරයාට සහ කොළඹ කොටුව මූලස්ථාන ස්ථානාධිපතිවරයාට මැන්ඩාමූස් නියෝගයක් නිකුත් කරන ලෙසට ඉල්ලා මීට පෙර අභියාචනාධිකරණයේ රිට් පෙත්සමක් ගොනු කරන ලදී.

මෙම පෙත්සම ගොනු කිරීමෙන් පෙත්සම්කාරිය ජනාධිපතිවරයාට අපහාස කිරීම සහ සමස්තයක් ලෙස රටට අපකීර්තියක් ගෙන ඒම අරමුණු කරගෙන ඇති බවට අභියාචනාධිකරණය තීරණය කළා.

තවද මානසික රෝගවලට අදාල පනත යටතේ කටයුතු කිරීමට නම් පොලිසිය වෙත මානසික ආබාධ සම්බන්ධයෙන් පොලිස් පැමිණිලි ඉදිරිපත් කළ යුතු බවත් මෙම පෙත්සමට අදාළව එවැනි වාර්තා කිසිවක් ඉදිරිපත් වී නොමැති බව අභියාචනාධිකරණය නිගමනය කළා.

මෙම පෙත්සම සම්බන්ධයෙන් නීතිපතිවරයා සහ එක්සත් ජනතා නිදහස් සංවිධානයේ මහලේකම් මහින්ද අමරවීර මහතා විරෝධතා ඉදිරිපත් කර තිබුණා.

මෙම පෙත්සම ගොනු කරන ලද්දේ තක්ෂිලා ලක්මාලි නැමැති කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිකාරියක් විසින්. ජනාධිපතිවරයා විසින් මෑතකදී සිදු කළ ප්‍රකාශ සැකයට භාජනය වන බැවින් ඒ සඳහා මානසික තත්ත්වය පරීක්ෂා කිරීම අවශ්‍ය බව පෙත්සම්කාරිය පවසා සිටියා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 225 ම ඉල්ලීමක් කළත් රනිල් වික්‍රමසිංහ මහතාට අගමැති ධූරය ලබා නොදෙන බවට ජනාධිපතිවරයා මෑතකදී ප්‍රකාශ කර තිබෙන බව පෙත්සම්කාරිය පවසා සිටියා.


News Articles
Latest Videos
Most Popular Post