ෆෙඩරල් ගැන කතා කරන කිසිවෙක් ෆෙඩරල් යන්න තාමත් තේරුම්ගෙන හෝ නැති බවත් ෆෙඩරල් බිල්ලෙක් මවා සමහරුන් ජනතාව බියගන්වන බවත් විදුලි සංදේශ විදේශ රැකියා සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.
අමාත්‍යවරයා එසේ පැවසුවේ ඊයේ (12)දා හාලිඇළ පිහිටි විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ඌව පළාත් කාර්යාලයේදී පැවැති රැස්වීමක් අවසානයේ ජනමාධ්‍යවේදීන් අමතමිනි.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කර සිටියේ ,
වත්මන් රජය දෙමළ සන්ධානයට ෆෙඩරල් ලබාදෙමින් රට පාවාදීමට කටයුතු කරනවා කියමින් සමහරු නොයෙක් තැන්වල ආණ්ඩුව විවේචනය කරනවා. ඒත් ෆෙඩරල් කියන එක ඒ ගැන කියන ලංකාවේ කවුරුත් තාම හරියට තේරුම්ගෙනවත් නෑ. මේ ආණ්ඩුවට උවමනාවී තිබෙන්නේ ලංකාවේ ආයෙත් යුද්ධයක් ඇති නොවන තැනකට රට ගෙනයන්නයි. සිංහල දෙමළ මුස්ලිම් සියළු ජනතාව ඒකීය රටක් තුළ එක්ව ජීවත් වීමයි අපට අවශ්‍ය.
ෆෙඩරල් කියන එක නොතේරෙන බබ්බු ටිකක් ෆෙඩරල් ෆෙඩරල් කියා කෑ ගැසුවාට එක්සත් ජාතික පක්ෂයවත් මේ රටට ආදරය කරනජනතාවවත් ඒ වචනයටවත් එකඟ නෑ.
ඒ වගේම අද බොහෝ දෙනා නඟන ප්‍රශ්නය විපක්ෂ නායකකම ගැන. ඒ ගැන අපට කිසිම ප්‍රශ්නයක් නෑ. කථානායකවරයාත් පාර්ලිමේන්තුවේ බහුතරයත් පිළිගන්නා පුද්ගලයා විපක්ෂ නායක ලෙස පිළිගත යුතුයි.
පසුගිය කාලයේ බොරු අගමැතිවරුන් හිටියා. ඒත් කථානායකවරයා පිළිගත් අගමැතිවරයාව අපි පිළිගත්තා. ඒ වගේම කථානායකවරයා සහ පාර්ලිමේන්තුවේ බහුතරය පිළිගත් අගමැතිවරයාවත් අපි පිළිගත්තා.
එසේම කථානායකවරයා සහ පාර්ලිමේන්තුවේ බහුතරය පිළිගන්නා විපක්ෂ නායකවරයාවත් අපි පිළිගන්න අවශ්‍යයි.