News Line| Off Air
Generic placeholder image

Jan
15

තෛපොංගල් ගැන ඔබ නොදත් කතාව

8681 Views


තෛපොංගල් ගැන ඔබ නොදත් කතාව

කැලැන්ඩරේ බැලුවම අපි ආසම දින තමයි රතු පාටින් සලකුණු කරලා තියෙන දින. වෙනත් විදියකින් කියනවා නම් රජයේ නිවාඩු දිනයක් එනතුරු අපි ඉන්නේ ඇඟිලි ගනිමින්. ඒ වගේ නිවාඩු දිනයක් තමයි මේ අවූරුද්දේ ජනවාරි 15 වෙනිදා. එදාට තමයි තෛපොංගල් යෙදිලා තියෙන්නේ.

අස්වැන්න නෙලීමේ උත්සවය යන අරුතින් හඳුන්වන තෛපොංගල් උත්සවය සැම වසරකම ජනවාරි මාසයේ පළමු සති තුන ඇතුලත පවත්වනවා. ජනවාරි පළවෙනිදා ලෝක වාසින් නව වසර ආරම්භ කලත් හින්දු බැතිමතුන් නව වසර ආරම්භ කරන්නේ තෛපොංගල් උත්සවයෙන් අනතුරුවයි. තමන් උපයාගත් අස්වන්නෙන් පළමු කොටස දෙවියන් වෙත පුදා ඔවුන්ගෙන් ආශීර්වාද ලබාගෙන ආරම්හ කරන වර්ෂය වඩා සුවිසේෂී සහ වඩා සාර්ථක වසරක් වනු ඇති බව ඔවුන් තරයේ අදහනවා.

ක්‍රි. පූ. 2500 – 1000 අතර කාලයේ බටහිර ආසියාවේ සිට ඉන්දියාවට ඇවිත් පදිංචි වූණු ආර්යයන් අතරේ හිරු දෙවියන් නැමදීමේ චාරිත්‍රය පැවතුණා. ඒ තමන්ගේ අස්‌වනු පැසීම, වියළීම හා ඒ කටයුතුකර ගන්නට යහපත් කාලගුණයක්‌ ලබාදීම වගේ ලොකු සේවාවක්‌ කරන හිරු දෙවියන්ට ගෞරව කිරීමක්‌ විදියට. තෛයි-පොංගල් උත්සවය ශතවර්ෂ ගණනාවක්‌ තිස්‌සේ පරම්පරාවෙන් පරම්පරාවට උරුම වෙච්ච එකක්. මේ උත්සවය එක්ක බැදී තියෙන හිරුගේ පිහිටෙන් ලබා ගත්තු අස්‌වැන්නෙන් මුල්ම කොටස හිරු දෙවියන්ට පිළිගැන්වීම තමා මේ උත්සවයේ ප්‍රධානම කටයුත්ත. ඔවුන් එහෙම පුදන්නේ “අනාගතයේද අපි මෙසේ ඔබ පුදන්නෙමු. ඒ නිසා අපගේ අස්‌වනු සරු කළ මැනවි” යන අහිංසක ඉල්ලීම හිත දරාගෙනයි .

මේ උත්සවයේ තවත් විශේෂිත අංගයක් වන්නේ නිවසේ ඇති කරන ගවයින් සහ එළදෙනුන් හට විශේෂ සැලකීම් කිරීමයි. ඔවුන් ජීවත්වන ගව ගාල් සුද්ධ පවිත්‍ර කර රසමසවුලෙන් යුතු ආහාර ලබාදී ඔවුන්ව සතුටට පත් කිරීම මගින් මෙය සිදුවෙනවා.

මෙයට අමතරව ගමක්‌ හෝ කුඩා නගරයක් වැනි ප්‍රදේශයක නම් බෞද්ධ කතෝලික සහ මුස්‌ලිම් භක්‌ති අසල්වැසියන් අසල ජීවත් වෙන හින්දු පවුල් මේ උත්සව දවසේදී තම සමීප අසල්වැසියන්ටද ආහාර පාන ආදියෙන් සංග්‍රහ කිරීම දැක ගත හැකියි. මෙය ඔවුන් අතර හොඳ හිත සහ සාමය වර්ධනය වීමට උදව් වෙනවා කියා ඔවුන් විශ්වාස කරනවා.

තෛපොංගල් දවසේ දී සූර්ය දිව්‍ය රාජයා උදාවන්නට පැය පහකට ප‍්‍රථම අලුයම හින්දු ජනතාව අවදිවී උත්සවයට සැරසෙනවා. නැගෙනහිර මිදුලේ ගොම ගෑ පිරිසුදු බිමක සුදු, රතු පාට පිටි වලින් අලංකාර මල් රටා දමයි. ඊට අමතරව කෙසෙල්, උක් ගස්, මෙන් ම මකර තොරණක් ගස් වර්ගවලින් සාදා තමන්ගේ ඉඩමේ තියයි.

උත්සවය දවසේ එය පැවැත්වෙන කාමරයේ බිම සහල්, තල හා මුං ඇට සහ කහ කුඩු ආදිය දමා කෝලම් නම් විශාල රූපයක් නිර්මාණය කර එය මැද පිත්තල පහනක්‌ සහ පුන් කළසක්‌ තබන තබයි. එයින් නරක දුරු වී ආලෝකය උදාවීමත්, සශ්‍රීකත්වයත් සංකේතවත් කරනවා.

ඒ අසලින්ම ගණ දෙවි රුවක්ද තබා එම ස්ථානයේ පහනක් පත්තු කරනවා . හාල් හෝ වී අතුරා ඒ මත පොල්, කෙසෙල්, බුලත් සහ පුවක් ද තබයි. මේවා හඳුන්වන්නේ මංගල ද්‍රව්‍ය නමින්. මුලින්ම ගන දෙවියන්ට වන්දනා මාන කර ඉන්පසුව සියලු ම රූප දේවතාවුන්ට පූජෝපහාර දක්වයි.

අලුත් මුට්ටියක් ගෙන එහි කහ කොළ, ඉඟුරු කොළ, අඹ කොළ එකට එක්කොට කටබැඳ මුට්ටියේ පිට පැත්තේ “පරහද” (තිරුනූර්) තවරා ති‍්‍රශූලයක් අයුරින් තුන් පැත්තක ඇඳ කට්ටුකුමංජල්, සුවඳ වර්ග තවරා, පොට්ටුවක් සේ තබා, එයට එළකිරි, ජලය වත්කර, කපුරුවලින් ලිප මොලවා, සැමියා සහ බිරිය එක් වී හිරුදේව වන්දනාව කරයි, පසුව ඒ හැලිය ප්‍රවේශමෙන් ළිප උඩ තබයි. මීට පවුලේ සියලු දෙනා එක්වෙනවා.

කිරි ඉතිරි වී පිටට ගලන විට සියලු දෙනා ම පොංගල් පොංගල් යනුවෙන් ශබ්ද නඟා කියා සතුටු වෙයි. ජීවිතයේ සතුට ඉතිරී යන්නා සේ කිරි ද ඉතිරි වී පිටාර ගලනු දැකීම මේ අය ගේ අභිලාශයයි. මින් තම හිත තුලද සතුට ඉතිරි යන සෙයක් දැනෙන බව හින්දු බැතිමතුන් කියනවා.

මිනිසුන් අතර සහජීවනය සහ සාමය ඇති කරන්නට මේ වගේ දිනයක් කරන්නේ ඉතා විශාල සේවයක්, ආගම් අතර වන සංස්කෘතික බැඳීම ගැන අපි හැම දෙනාම ඉගෙන ගත යුත්තේ එහි සැඟවී පවතින සුන්දර තේරුම් අප හැමටම එකතුවෙලා ජීවත් වෙන්නට උදවු දෙන නිසයි.

ඔබ සැමට සුභ තෛපොංගල් දිනයක් වේවා


News Articles
Latest Videos
Most Popular Post