News Line| Off Air
Generic placeholder image

Jan
23

චෛත්‍යය මත නැග සිටි මුස්ලිම් තරුණයින් පිරිස අත්අඩංගුවට ගන්න සොයයි

1107 Views


චෛත්‍යය මත නැග සිටි මුස්ලිම් තරුණයින් පිරිස අත්අඩංගුවට ගන්න සොයයි

හොරොව්පතාන කිරලාගල ඉපැරණි පුරාවිද්‍යා භූමියේ නටඹුන් වූ චෛත්‍යයක් මත නැග ඡායාරූප ගත් පිරිස හඳුනාගෙන තිබෙනවා. ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ක‍්‍රියාත්මක බවයි පොලිසිය ප්‍රකාශ කළේ.

ඒ, පුරාවිද්‍යා බලධාරීන් විසින් ඊයේ (22) පස්වරුවේ හොරොව්පතාන පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුවයි.

ඔවුන් මෙම චෛත්‍ය මත නැග අදාළ පිරිස ලබාගත් ඡායාරූප පසුව සමාජජාල මාධ්‍ය වෙත මුදාහැර තිබුණා. ඒ සම්බන්ධයෙන් පුරාවිද්‍යා බලධාරීන් පොලිසියට පැමිණිලි කර ඇත්තේ ඉන් පසුවයි. පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල් පී. බී. මණ්ඩාවල මාධ්‍ය වෙත කියා සිටියේ අග්නිදිග විශ්ව විද්‍යාලයේ සිසුන් පිරිසක් මෙම ක‍්‍රියාවට සම්බන්ධ බවට තොරතුරු ලැබී තිබෙන බවයි.

පුරාවස්තු ආඥා පනත යටතේ ඔවුන් සිදු කර ඇත්තේ අපරාධ නීතිය යටතට ගැනෙන වරදක් බවද පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා මෙහිදී ප්‍රකාශ කර සිටියා.

හොරොව්පතාන නගරයට ආසන්නයේ ඇති කිරලාගල මෙම විහාර සංකීර්ණය ඓතිහාසික වශයෙන් වැදගත් ස්ථානයක්. එය ක‍්‍රිස්තු වර්ෂ 4වන සහ 5 වන සියවසට අයත් බවටයි විශ්වාස කෙරෙන්නේ. එවැනි වැදගත් ස්ථානයක පිහිටි චෛත්‍යක් මත නැග ලබාගත් ඡායාරූප සමාජජාල මාධ්‍ය හරහා සංසරණය වීමත් සමග බොහෝ පිරිසක් ඊට දැඩි විවේචනයන් ද එල්ල කළා. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස බෞද්ධ තොරතුරු කේන්ද්‍රය පොලිසියට ඊයේ (22) පැමිණිල්ලක් ද සිදු කළා.


News Articles
Latest Videos
Most Popular Post