පාසල්වල මුදල් එක්රැස් කිරීම පිළිබදව නිකුත් කර තිබූ “පාසල් පාදක ගුණාත්මක, ප්‍රමාණාත්මක හා ව්‍යුහාත්මක සංවර්ධනය සඳහා සැලසුම්කරණය හා ප්‍රසම්පාදනය පිළිබඳ චක්‍රලේඛය (26/2018) වහාම අවලංගු කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල කාරියවසම් මහතා නියෝගය කර තිබෙනවා.
අදාළ චක්‍රලේඛය 2018 වසරේ ජූනි 22 දින නිකුත් කර තිබෙන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයාගේ අත්සනින් යුතුවයි.
පාසල්වලට මුදල් එක්රැස් කිරීමේ දී එම කටයුතු විධිමත් කිරීම අරමුණු කර ගනිමින් මෙම චක්‍රලේඛය නිකුත් කර ඇති බව නිලධාරීන් සඳහන් කළ ද, මේ හරහා අධ්‍යාපන අමාත්‍යාංශයේ අධීක්ෂණයකින් තොරව අවිධිමත් ලෙස මුදල් එක්රැස් කිරීමේ හැකියාව හිමිවන බව අනාවරණය වීමත් සමඟ අධ්‍යාපන අමාත්‍යවරයා විසින් මෙම චක්‍රලේඛය අවලංගු කිරීමටයි උපදෙස් ලබා දී තිබෙනවා.
ඇතැම් අවස්ථාවලදී නිසි කරුණු සොයා බැලීමකින් තොරව නිලධාරීන් විසින් නිකුත් කරන ලද මෙවැනි චක්‍රලේඛ හේතුවෙන් රජය, පාසල් දරුවන්, මාපියන් මෙන්ම ගුරුවරුන්, විදුහල්පතිවරුන් ඇතුලු සියලු දෙනා අපහසුතාවයට පත්වන බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නා.
විදුහල්පතිවරුන්ට හෝ පාසල් සංවර්ධන සමිති වලට හිතුමනාපයේ මුදල් එක්රැස් කිරීමට අවකාශ සලසමින් කටයුතු කිරීම කිසිවිටෙකත් නොකළ යුත්තක් වන බවත්, නිදහස් අධ්‍යාපනය තහවුරු කිරීම වෙනුවෙන් මාපියන්ගේ සහ දරුවන්ගේ පාර්ශවය මුහුණ දෙන ආර්ථික සහ සමාජ අර්බුදයන් ද තේරුම් ගනිමින් කටයුතු කිරීමට නිලධාරීන් පියවරගත යුතු බවද අධ්‍යාපන අමාත්‍යවරයා අවධාරණය කළා.
ඒ අනුව 26/2018 චක්‍රලේඛය අද සිට අවලංගු වන අතර ඒ වෙනුවට 5/2015 “පාසල්වල අවිධිමත් ලෙස මුදල් එකතු කිරීම” සම්බන්ධයෙන් නිකුත් කර ඇති චක්‍රලේඛය බලාත්මක කිරීමට පියවර ගෙන තිබේ.