ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාව විනාශ වූයේ තමන්ද නියෝජනය කරනා වත්මන් රජය සමයේ බව ලෝක කුසලාන දිනු හිටපු ක්‍රිකට් නායක, වත්මන් රජයේ කැබිනට් අමාත්‍ය අර්ජුන රණතුංග ප්‍රකාශ කරනවා.
2014 වසරේදී T20 ලෝක කුසලානය දිනූ ශ්‍රී ලංකාව ආකෘති ත්‍රිත්වයෙන්ම ලොව ප්‍රමුඛ කණ්ඩායම බවට පත්ව සිටියා. කෙසේ වෙතත් 2015 වසරේ ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට පවා සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාව අසමත් වූ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් බිද වැටීම 2015 සිට ආරම්භ වුණා. මේ සදහා සිය රජය වගකිව යුතු බව අමාත්‍ය අර්ජුන රණතුංග ප්‍රකාශ කරනවා.
මාතර වල්ගම ප්‍රදේශයේ අභිනවයෙන් ඉදිකරන ලද ගෘහස්ථ ක්‍රිකට් පුහුණු මධ්‍යස්ථානයක් විවෘත කිරීමට පැවති උත්සවය අමතමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර
එහිදී අදහස් දැක්වූ අමාත්‍ය අර්ජුන රණතුංග අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ,
“ක්‍රිකට් වලට අවශ්‍ය දෙයක් කරන්න ඕන පෞද්ගලික ආයතන හෝ පුද්ගලයින් නොවෙයි. ඒවා වෙන්න ඕන රටේ ආණ්ඩුවෙන් ක්‍රීඩා අමාත්‍යංශයෙන්. හැබැයි ක්‍රිකට් පාලක මණ්ඩලයට ගමට ක්‍රිකට් ගෙනියන්න වැඩපිළිවෙලක් තියෙනවද කියලා ඉතාම කනස්සල්ලෙන් බලාගෙන හිටියා. මට වාසනාව ලැබුනා අවුරුදු 18 වගේ කාලයකදී ජාතික කණ්ඩායමට එන්න. මම දැකපු දෙයක් තමයි ක්‍රීඩකයින්ට මොනතරම් දස්කම් තිබුනත් එක පැත්තකින් අපේ මානසිකත්වය, අනෙක් පැත්තෙන් අපට ලැබෙන පහසුකම නිසියාකාරව ලැබෙන්නේ නැහැ කියලා.
මම මේ දේශපාලනය කතා කරනවට වඩා මමත් ආණ්ඩුවේ ඇමතිවරයෙක් මේ ආණ්ඩුව ගෙන්න විශාල කාර්යභාරයක් කරපු කෙනෙක්. ආණ්ඩුව තියාගන්නත් විශාල කාර්යභාරයක් කරන කෙනෙක්. හැබැයි මම ඉතාමත්ම ඕනෑකමින් කියනවා මේ අපේ කාලයේ තමයි ක්‍රිකට් ක්‍රීඩාව විනාශ වුනේ කියලා.
එයට ප්‍රධාන හේතුව අනවශ්‍ය පුද්ගලයන්ට ක්‍රිකට් ක්‍රීඩාව භාර දුන්නු එක. අද ලෝකයේ ක්‍රිකට්වල අපි විහිළුකාරයෝ බවට පත්වෙලා තිබෙනවා. අපි අවුරුදු ගානක් ක්‍රිකට් ගැහුවට අදවන විට තරඟ පාවාදීමේ කාර්යාලයක් පවා මේ රටට ඇවිත් තියෙනවා. එයින් මොකක්ද අපි ලෝකෙට පෙන්වන්නේ. අපේ පරිපාලනයත් එක්ක හොරකම, දුෂණය, වංචාව කියන එක ක්‍රිකට් ක්‍රීඩාවටත් ගිහින් තියෙනවා කියලා අපි සිහිකරලා තියෙනවා .මේ වගකීම අපි හැමදෙනම භාරගන්න ඕන. මේ රටේ ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා හිටපු ක්‍රීඩා ඇමතිවරු ගැන මම කතා කරන්නේ නැහැ. මොකද ඒ අය ගැන කතා කරන එක කාලවේලාව නාස්ති කිරීමක්. අද ඉන්න ක්‍රීඩා ඇමතිවරයාත් දැනට මේ වෙච්ච දේ හදන්න ඉතාමත් ඕනෑකමින් ඉතිරි වැඩකොටස කරන්න ඕන. අපට ක්‍රිකට් වලින් ලබාගන්න දෙයක් තිබුනේ නැහැ. අපිට ක්‍රිකට් තරගයකට සහභාගී වෙනකොට ඒ කලේ අපිට ගෙව්වේ රුපියල් දෙසීය පනහයි.” යනුවෙන් වැඩිදුරටත් ප්‍රකාශ කළා.