වේග සීමා උල්ලංඝණය කරමින් ධාවනය වන බස් රථවල ධාවන බලපත්‍ර අහෝසි කිරීමට පියවර ගන්නා බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා. එහි සභාපති ජනක මල්ලිමාරච්චි මහතා ප්‍රකාශ කළේ, අධික වේගය හේතුවෙන් සිදු වන අනතුරු අවම කිරීම එම වැඩපිළිවෙළේ අරමුණ බවයි.
පසුගිය 18 වැනි දා ද හලාවත මහවැවදී බස් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් තිදෙනෙකු මිය ගියා.
වව්නියාව සිට කොළඹ බලා ධාවනය වූ බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ට්‍රාන්ස්ෆෝමරයක ගැටීමෙන් එම අනතුර සිදු වූයේ රියැදුරුට වේගය පාලනය කරගත නොහැකිවීමෙන් බව මේ වන විටත් අනාවරණය වී අවසන්.
ඒ අනූව අපරික්ෂාකාරීව අධික වේගයෙන් ධාවනය වන බස් රථ සම්බන්ධයෙන් වන පැමිණිලි 1955 යන අංකයට දැනුම් දිය හැකි බව ද ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කළේ ය.