News Line| Off Air
Generic placeholder image

Mar
18

රන්ජන්ගේ කොකේන් පරික්ෂණ අභියෝගයට ගම්මන්පිලගෙන් පිළිතුරු

609 Views


රන්ජන්ගේ කොකේන් පරික්ෂණ අභියෝගයට ගම්මන්පිලගෙන් පිළිතුරු

පසුගියදා පාර්ලිමේන්තුවේදී රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යතුමා තමන් වගේම අනෙක් මන්ත්‍රිවරුනුත් කොකේන් පරීක්ෂාවට ලක්විය යුතු යැයි අභියෝගයක් කළා. අපි කොකෙන් පරීක්ෂාව කරලා ප්‍රතිඵල පෙන්නන්නට ගියේ නැත්තේ අපි කොකෙන් පාවිච්චි කරන නිසා නම් නොවෙයි. ඔබතුමා භාවිතා කරන මත්පැන්  වර්ගවත් අපි භාවිතා නොකරන නිසයි යනුවෙන් පා.ම උදය ගම්මන්පිල මහතා පැවසිය.

අද දින පිවිතුරු හෙළ උරුමයේ පැවති සාකච්ජාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් ක‍ළේය.

“අපි කොකෙන් පරීක්ෂාව නොකර සිටියේ පාර්ලිමන්ට් ජෝක්ස් චිත්‍රපටයට රංගනයෙන් දායකවී තවත් එක් විකට නළුවෙක් වීමේ අවශ්‍යතාවයක් නොමැති නිසා.

මොකද ඔහු විසින් ඉදිරිපත් කළ කොකේන් පරීක්ෂාවෙන් හෝ ඉදිරිපත් කරන ලද වෛද්‍ය සහතික වලින් කොකේන් භාවිතා නොකරන බවට කිසිදු සහතිකයක් ලැබෙන්නේ නැහැ. කොකේන් භාවිතයෙන් පැය 48 කට පසුව මුත්‍රා රුධිර පරීක්ෂාවක් සිදු කළහොත් එම රුධිර හෝ මුත්‍රා සාම්පලවල කොකේන් අඩංගු වන්නේ නැහැ.

මන්ත්‍රිවරයා තමන් තෝරාගත් ස්ථානයකට තමන් කැමති වේලාවක ගිහිල්ලා රුධිරය හා මුත්‍රා පරීක්ෂා කළහම ඊට දින කිහිපයකට කලින් ඔහු කොකේන් භාවිතා කර නැහැයි කියලා ඉන් තහවුරු කරන්නට බැහැ. සමහරු යෝජනා කරනවා කෙස් ගස් වලින් මෙය තහවුරු කරන්නට පුළුවන් කියලා. මොකද දිගු කාලයක් කොකේන් භාවිතා කරන විට  කෙස්ගස්වල තැන්පත් වීමක් සිදුවන නිසා.

නමුත් පරික්ෂාවකින් සනාථ කළ හැකි මට්ටමේ කොකේන් ප්‍රමාණයක් කෙස්ගස්වල තැන්පත් වීමට නම් දීර්ඝකාලයක් කොකේන් භාවිතා කලයුතු වෙනවා. මේ නිසා කෙස්ගස් පරීක්ෂාවෙන් වත් මුත්‍රා හෝ ලේ පරීක්ෂාවෙන් යම් මන්ත්‍රිවරයෙක් කොකේන් පාවිච්චි කරනවද යැයි නිසි ලෙස තහවුරු කරගන්නට බැහැ.

රටේ මොකක් හරි ප්‍රශ්නයක් ඇති වූ විට ඒ ප්‍රශ්න නොමග යැවීම සඳහා ආණ්ඩුව විසින් කොන්ත්‍රාත්තුව භාර දී තිබෙන්නේ රන්ජන් රාමනායක අමාත්‍යතුමාටයි. මාධ්‍ය ඉදිරියේ පාර්ලිමන්ට් ජෝක්ස් චිත්‍රපටයේ අලුත්ම පිටපත රඟදැක්වීමෙන් එය සිදු කරන්නේ. රටේ ජනතාවගේ සැබෑ ප්‍රශ්න යටපත් කිරීමේ රංජන් රාමනායක කුමන්ත්‍රණයට අප කිසිසේත්ම දායක වෙන්නේ නැහැ.  ඒ දායක වීම ම රටේ තිබෙන දැවෙන ප්‍රශ්න සාකච්ඡා කිරීමට මාධ්‍යයේ තිබෙන ඉඩ සොරකම් කිරීමක් සහ සාතිශය අපරාධයක් වන නිසා.

මෙවැනි ඇමතිවරුන් ආණ්ඩු සිතාමතාම නඩත්තු කරන්නේ රටේ සැබෑ ජනතා ප්‍රශ්න යටපත් කරලා බොරු ප්‍රශ්නවලින් මාධ්‍යවල ඉඩ පිරවීමේ කූට අරමුණින් බව අපි ඉතා වගකීමෙන් ප්‍රකාශ කරනවා “යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසිය.


News Articles
Latest Videos
Most Popular Post