වැලිකඩ බන්ධනාගාරය වෙත සිරකරුවන් රැගෙන එමින් සිටියදී බීමත්ව සිටි බවට චෝදනාවකට පොලිස් අත්අඩංගුවට පත්ව පසුව ඇප මත නිදහස් වූ නිලධාරීන් තිදෙනාගේ වැඩ තහනම් කර තිබෙනවා.
මෙලෙස වැඩ තහනමට ලක්ව ඇත්තේ වැලිකඩ බන්ධනාගාරයේ ජේලර්වරයෙක් , සැරයන්වරයෙක් හා නියාමකවරයෙක්. බන්ධනාගාර බස් රථයක බීමතින් සිටි මෙම පිරිස පසුගිය 31 වනදා මින්නේරිය ප්‍රදේශයේ දී පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවා.
ලද තොරතුරක් මත බන්ධනාගාර බස්රථය පරීක්ෂා කිරීමේදී මොවුන් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය සදහන් කලේ. බන්ධනාගාර නිලධාරීන් හත්දෙනෙකු මෙම බස් රථයේ සිට තිබෙනවා.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ අදාළ බස් රථය වැලිකඩ බන්ධනාගරය දක්වා ගමන් කරමින් තිබුනේ මඩකලපුව හා පොළොන්නරුව බන්ධනාගාරවල රැඳවියන් පිරිසක් සමගින්.
මරණ දඬුවමට නියම වූ සිරකරුවකු සහ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය සම්බන්ධ රැඳවියන් අටදෙනෙකු එහි සිට තිබෙනවා.