සුදුසුකම් ලත් වෛද්‍ය නිලධාරීන් 278 කට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පත්වීම් ලබා දී තිබෙනවා.
එම උත්සවය පැවැත්වුණේ කොළඹ ජාතික රෝහලේ ස්නායු ඒකකයේ ශ්‍රවණාගාරයේ දී අද පෙරවරුවේ දීයි.
සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ඇති වෛද්‍ය නිලධාරීන්ට වසරකට සීමාවාසික වෛද්‍ය පත්වීම් අවස්ථා දෙකක දී ලබාදීමට තීරණය කර තිබෙනවා.
දේශීය වෛද්‍ය පීඨ සහ අනුමැතිය හිමිවූ විදේශීය වෛද්‍ය පීඨවලින් උපාධිය ලබා ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ ලියාපදිංචි වීමෙන් පසු ප්‍රධාන කණ්ඩායම සහ ඌණ සමාර්ථ කණ්ඩායම ලෙස පත්වීම් ලබාදීමට නියමිතයි.
සයිටම් වෛද්‍ය පීඨය පිළිබද ගැටලූව හේතුවෙන් 2018 නොවැම්බර් වන විට දේශීය වෛද්‍ය විද්‍යාලවලින් වෛද්‍ය උපාධි ලබාගත් වෛද්‍යවරුන් නොමැති බවයි සෞණ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් කර ඇත්තේ.
මේ හේතුවෙන් රජයේ රෝහල්වල පැය 24 පුරාම සේවයේ යොදවන සීමාවාසික වෛද්‍ය නිලධාරීන්ගේ ඌණතාවයක් ඇති වුණා.
රෝහල්වල රෝගීන්ට අවශ්‍ය සෞඛ්‍ය සත්කාර ලබාදීම සදහා සුදුසුකම් ලත් දේශීය සහ විදේශීය වෛද්‍ය පීඨවලින් උපාධි ලබාගත් සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය ලද කණ්ඩායමකට සීමාවාසික වෛද්‍ය පත්වීම් පසුගිය පෙබරවාරි මාසයේ දී ලබාදීමටයි තීරණය කළේ.
ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචිය නොමැති කණ්ඩායමක් ශේෂ්ඨාධිකරණයට ගොස් මෙම පත්වීම් ලබා නොදෙන ලෙස අතුරු තහනම් නියෝගයක් ලබාගෙන තිබුණා.
සෞඛ්‍ය, පෝෂණ හා දේශිය වෛද්‍ය අමාත්‍යාංශය මඟින් පත්වීම් ලබාදිය හැක්කේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වූ වෛද්‍යවරුන්ට පමණක් යන කරුණ නීතිපති දෙපාර්තමේන්තුව ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දීමෙන් පසු අතුරු තහනම් නියෝගය ඉවත් කළා.