ඩුබායි අත්අඩංගුවේ පසු වූ තවත් පුද්ගලයින් දෙදෙනෙකු අද මෙරටට පිටුවහල් කර තිබෙනවා. පියල් පුෂ්ප කුමාර සහ මොහොමඩ් අෆ්රිඩී මොහොමඩ් ඉන්හාම් නැමැති පුද්ගලයින් දෙදෙනෙක් මෙලෙස දිවයිනට පැමිණි බවයි පොලීසිය සඳහන් කළේ.
එම පුද්ගලයින් දෙදෙනා ප්‍රශ්න කිරීම සඳහා මේ වන විට අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුව භාරයට ගෙන තිබෙනවා. ඊයේ තවත් පුද්ගලයින් 06 දෙනෙකු ඩුබායි සිට මෙරටට පිටුවහල් කෙරුණා.
එම පුද්ගලයින් 06 දෙනාගෙන් එක් සැකකරුවෙකු වන ගයාන් බුද්ධික පෙරේරා නැමැත්තා වැඩිදුර ප්‍රශ්න කිරීම් සඳහා කොළඹ අපරාධ කොට්ඨාශයට භාර දී තිබෙනවා.
තමන්ව ශ්‍රී ලංකාවට පිටුවහල් නොකරන ලෙස ඉල්ලා මාකඳුරේ මධූෂ් ඩුබායි බලධාරීන්ගෙන් කළ අභියාචනය පිළිබඳ තීන්දුව අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
ඒ අනුව ඩුබායිහිදි මාකඳුරේ මදූෂ් සමඟ අත්අඩංගුවට ගත් පිරිසෙන් මේ වන විට පුද්ගලයින් 23 දෙනෙකු මෙරටට පිටුවහල් කර තිබෙනවා.
ප්‍රබල පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ් ඇතුලු 31 දෙනෙකු කොකේන් තොගයක් සමග ඩුබායි හී පිහිටි ප්‍රධාන පෙලේ හෝටලයක පැවති සාදයක් අතරතුර එරට පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තේ පසුගිය පෙබරවාරි මස 5 වනදායි.