ජාතිවාදය අවුස්සන සුළු හෝ ජාතීන් ආගම් අතර නොසන්සුන්තාවක් ඇති වන ආකාරයේ කටයුතු කරන පුද්ගලයින් කණ්ඩායම් හෝ සංවිධාන සම්බන්ධයෙන් දැනට බලපවත්වන හදිසි නීති රෙගුලාසී යටතේ කිසිදු තරාතිරමක් නොබලා නීතිය තදින් ක්‍රියාත්මක කරන බව ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියා.එම අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ ප්‍රචණ්ඩ ක්‍රියා සඳහා පොළොඹවන ආකාරයේ ප්‍රකාශ, මාධ්‍ය සාකච්ඡා, ඡායාරූප හෝ වෙනත් ආකාරයේ ප්‍රකාශන නිකුත් කරන හෝ ප්‍රකාශයට පත් කරන අය පිළිබඳව අවධානයෙන් සිටින බවයි.
එසේම අසත්‍ය ප්‍රකාශ සිදුකරන, කටකතා පතුරවන, ඒ සඳහා කුමන ආකාරයේ හෝ මාධ්‍යයක් භාවිත කරන පුද්ගලයින් කණ්ඩායම් හෝ සංවිධානවල එරෙහිව හදිසි නීති රෙගුලාසී යටතේ ක්‍රියාකරන බව ආරක්ෂක අමාත්‍යාංශය පවසා සිටියා.
ආරක්ෂක අංශ නොමග යවන සුළු ප්‍රකාශ නිකුත් කරන සහ ක්‍රියා සිදුකරන පුද්ගලයින් කණ්ඩායම් හෝ සංවිධාන සම්බන්ධයෙන් ද නීතිය ක්‍රියාත්මක කරන බව අදාළ නිවේදනයේ සඳහන්ය.එම නිසා මෙවැනි ක්‍රියාවලින් වැළකී සිටින ලෙස මහජනතාවට කණ්ඩායම්වලට සහ ඒවා ප්‍රකාශයට පත්කරන ආයතන වෙත තරයේ දැනුම් දෙන බව ආරක්ෂක අමාත්‍යාංශය නිකුත් කල නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වුනා.