ලබන සඳුදා පාසල් විවෘත කිරීමෙන් පසු පාසල් ළමයින් ප‍්‍රවාහනය කරන වාහන සම්බන්ධයෙන් පිළිපැදිය යුතු උපදෙස් මාලාවක් සකස් කර තිබෙනවා. ඒ අනුව ළමයින් පාසල් වෙත ඇරලවීම සඳහා පැමිණෙන වාහන පාසල් අසල නවතා තැබිය හැක්කේ උපරිමව විනාඩි 03ක් පමණයි. මෙලෙස වාහන නතර කිරීම සඳහා සුදුසු ස්ථාන පාසල් කළමනාකාරීත්වය විසින් තීරණය කළ යුතු වනවා. පාසල් අවසන් වීමෙන් පසු ළමයින් නංවා ගැනීම සඳහා ද වාහන පාසල් අසල නවතා තැබිය හැක්කේ උපරිමව විනාඩි 03ක් පමණයි. එහිදී ද වාහන නතර කිරීම සඳහා පාසල් කළමනාකාරීත්වය විසින් ලබා දෙන ස්ථාන පමණක් යොදාගත යුතු වනවා.
අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පැවසුවේ පාසල් දිගින්දිගටම නිවාඩු දීමෙන් ළමයින්ගේ අධ්‍යාපන කටයුතු අඩාල වන බවයි. විෂය නිර්දේශ ආවරණය කිරීමට සහ නියමිත පරිදි ජාතික විභාග පැවැත්වීමට ද එමගින් බාධා සිදුවනු ඇතැයි අමාත්‍යවරයා පෙන්වා දුන්නා. කෙසේවෙතත් සියලූ පෞද්ගලික කතෝලික පාසල් ලබන සතියේද වසා තබන ලෙස කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ඉල්ලීමක් කර තිබුණා.