ගාල්ල ප්‍රදේශයේ 2019 වර්ෂයේ මේ වනවිට ඩෙංගු රෝගීන් හතර දෙනෙකු මියගොස් රෝගීන් 1,700ක් වාර්තා වී ඇත. එම හේතුවෙන් ඉදිරි මාසය තුල එම ප්‍රදේශයේ ඩෙංගු රෝගය උත්සන්න වීමේ දැඩි අවදානමක් මතුව තිබෙන බව ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම සිරිතුංග මහතා පවසනවා. පවතින වර්ෂාපතනයත් වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාවත් අනුව මෙම ප්‍රකාශය සිදුකරන බවත් මේ පිළිබඳව සියලුදෙනාම දැඩි වගකීමකින් කටයුතු කලයුතු බවත් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පවසා සිටිනවා.
“ගාල්ල දිස්ත්‍රික්කයේ අම්බලන්ගොඩ, බලපිටිය හා ගාල්ල නගරසභා බලප්‍රදේශ වල ඩෙංගු රෝගීන් වැඩිවීමේ දැඩි අවදානම් තත්ත්වයක් මතුවී තිබෙනවා.
හබරාදුව, බෝපෙ පෝද්දල, කරන්දෙණිය, හික්කඩුව, බද්දේගම, ඇල්පිටිය, බද්දේගම යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන් වලද අවදානම් තත්ත්වයකින් රෝගීන් වාර්තා වනවා. රෝගීන් වාර්තා වීම මේ විධියට වැඩි වුණොත් විශාල ගැටලුවකට මුහුණ පාන්න වෙනවා. පවතින වර්ෂාපතන රටාවත් මෙම තත්ත්වය වර්ධනය වීමට බලපානවා.
ශ්‍රීඝ්‍ර පාලනයකට නොගියොත් රෝගීන් විශාල වශයෙන් වැඩිවීම වලක්වාගත නොහැකියි. දිස්ත්‍රික්කය පුරාම අප විසින් සිදුකල කීට විද්‍යා පරීක්ෂණ අනුව ගෙවල් 100ක් පරීක්ෂා කළොත් එයින් ගෙවල් 50ක ඩෙංගු කීටයන් හමුවෙනවා. ඉදිකිරීම් වැඩබිම් වල තත්ත්වය මීට වඩා දරුණුයි. වතුර එකතුවන කොන්ක්‍රීට් තට්ටුමත විශාල වශයෙන් ඩෙංගු කීටයන් සිටිනවා. පරීක්ෂා කල ඉදිකිරීම් වැඩබිම් වලින් සියයට 50ක ඩෙංගු කීටයන් හමුවුණා. රජයේ ආයතන වලත් පූජ්‍යස්ථාන වලත් විශාල වශයෙන් කීටයන් හමුවනවා. දිස්ත්‍රික්කය පුරාම කසල එකතුකිරීමේ හා බැහැර කිරීමේ ගැටලුවක් තිබෙනවා. දිස්ත්‍රික්කයේ සියලු දෙනාම මේ සම්බන්දව දැඩි වගකීමකින් යුතුව ක්‍රියා කල යුතුව තිබෙනවා.”
තත්ත්වය පාලනය කිරීමට දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයෙන් විශේෂ වැඩසටහන් රැසක් ක්‍රියාත්මකව තිබෙන බව පළාත් පාලන ආයතන වලින් කසල එකතුකිරීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළයුතු බවද අධ්‍යක්ෂවරයා මෙහිදී අවධාරණය කර සිටිනවා.