මෙරට සිංහල සංස්කෘතිය බිහිවූ මල්වතු ඔය ආශ්‍රිතවද ඉදිරියේදී වාරියෝජනා ක්‍රමයක් ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රසිංහ මහතා පොසොන් පෝය දිනය නිමිත්තෙන් අනුරාධපුරය මිහින්තලා පුදබිමේ පැවති ආගමික වැඩ සටහනකට එක්වෙමින් සදහන් කළා.
රාජ්‍ය පාලනය සඳහා එදා ලිච්ඡවී රජ දරුවන් දුන් උපදේශයන්ට අනුව වත්මන් ආණ්ඩුව හා ඇමැති මණ්ඩලය ක්‍රියා කරමින් සිටින බව ද වික්‍රමසිංහ මහතා එහිදී පැවසුවා.
වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසීය.
“සිරිත් පරිදි මිහින්තලා පූජා භූමියට පැමිණ මේ ආලෝක පූජාවට සහභාගි වීමට මට අවස්ථාව ලැබීම මහත් භාග්‍යයක් කොට සලකනවා.
මිහින්තලා චෛත්‍ය වන්දනා කිරීමට මම පළමු වතාවට මෑණියන් සමග මිහින්තලයට පැමිණෙන විට මෙහි විදුලිය තිබුණේ නැහැ. එකල මිහින්තලා ආලෝක පූජාව සඳහා විදුලිය ලබාගත්තේ ජෙනරේටර් යන්ත්‍ර මගිනුයි. වර්තමානය වන විට මිහින්තලය පූජා භුමිය විශාල දියුණුවක් ලබා තිබෙනවා.
සිරිත් පරිදි ආලෝක පූජාව පැවැත්වීම එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම මගින් සිදු කරන අතර ඒ සඳහා අවශ්‍ය වැඩ කටයුතු සියල්ල බාර ගෙන සිදු කරන බව එම ආයතනය මා වෙත දැනුම් දී තිබුණා.
ශ්‍රී ලංකාවේ බෞද්ධ ආරම්භය සිදුවන්නේ මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකාගමනයත් සමගයි. පණ්ඩුකාභය රජ සමයටත් පෙර ආරම්භ වූ සිංහල ගමක් ලෙස අනුර ග්‍රාමය සැලකෙනවා. සිංහල ජනතාව මුලින්ම ජීවත් වූයේ මල්වතු ඔය ආශ්‍රිතව වූ අතර පසුකාලීනව යාංඔය ප්‍රදේශයටත් ව්‍යාප්ත වුණා.
ඒ අනුව අපි මේ වන විට මල්වතු ඔය පිළිබඳව විශේෂ අවධානයක් යොමු කර තිබෙනවා. ඉදිරියේ ද මල්වතු ඔය ජලාශය ඉදිකිරීමට ද අපි බලාපොරොත්තු වෙනවා.
යාං ඔය ආශ්‍රිතව මේ වන විටත් අවශ්‍ය කරන වාරිමාර්ග දියුණුව ආරම්භ කර තිබෙනවා. මල්වතු ඔය ජලාශය ඉදිකර ඒ ප්‍රදේශ දියුණු වීමත් සමඟ මිහින්තලය ඇතුලූ අනුරාධපුර දියුණුවත් ඇති වෙනවා. ඒ අනුව අනුරාධපුරයේ දියුණුවත් සමග අපේ ශිෂ්ඨාචාරයේ මූලස්ථාන දැක බලා ගැනීමට සහ ඉතිහාසය දැන ගැනීමට සියලූ දෙනාට අවස්ථාව ලැබෙනවා.
ආගමික වතාවත්වලට මූලිකත්වය ලබාදෙමින් පොසොන් උත්සවය සැමරීමට අද දිනය වෙන් කර තිබෙනවා. අමාත්‍ය මණ්ඩලය ඇතුලූ ආණ්ඩුව කටයුතු කරන්නේ ලිච්ඡවී රජදරුවන්ට ලබාදුන් උපදෙස් අනුවයි. අපි කිසි විටෙක එම උපදෙස්වලින් බැහැර වී කටයුතු කරන්නේ නැහැ.
විවිධ දේශපාලන ක්‍රමවලට පුරුදු වූ රටක් ලෙස අපේ සියලූ දෙනාම එකවර ලිච්ඡවී රාජ්‍ය පාලන ක්‍රමයකට ගමන් කරනවා යැයි කියා මට කිව නොහැකියි. නමුත් වලවාහැංගුණ වැවේ ධම්මරතන නායක ස්වාමීන් වහන්සේත්, මමත් එම ස්ථාවරයේ සිටීම පිළිබඳව මම සතුටට පත් වෙනවා.
අපේ වලවාහැංගුණ වැවේ ධම්මරතන නායක ස්වාමීන් වහන්සේ මිහින්තලය පූජා භුමිය දියුණු කිරීමට විශාල වෙහසක් දරා තිබෙනවා. එම දියුණුව වෙනුවෙන් අවශ්‍ය සහයෝගය වර්තමානයේදී මෙන්ම අනාගතයේදීත් ලබා දීමට මම පොරොන්දු වෙනවා.”