මැතිවරණ ඉලක්ක කර ගනිමින් රටේ ජන කොටස් අතර නොසන්සුන්තාවයන් ඇතිවන වෛරී ප්‍රකාශයන් ඇතැම් දේශපාලනඥයන් විසින් සිදු කළ ද රටේ සෑම පුරවැසියෙකුගේම ගරුත්වය සහ ආරක්ෂාව තහවුරු කෙරෙන වැඩපිළිවෙළ රාජ්‍ය නායකයා ලෙස තමා ක්‍රියාත්මක කර තිබෙන බව ජනාධිපතිවරයා පවසනවා.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ බව ප්‍රකාශ කළේ මුස්ලිම් රටවල් එකමුතුවේ සාමාජිකත්වය ලබා සිටින මුස්ලිම් රටවල තානාපතිවරු සහ මහකොමසාරිස්වරු සමඟ අද (26) දහවල් ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේ දී යි.
පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව, ශ්‍රී ලංකාවට මෙම රටවල් ලබාදුන් සහයෝගය සහ දායකත්වය පිළිබඳව තානාපතිවරුන්ට ස්තූතිය පුද කළ ජනාධිපතිවරයා ඉදිරියටත් රටට ආර්ථීක ආධාර අඛණ්ඩව ලබාදෙන ලෙසත්, ශ්‍රී ලංකාවට පැමිණිමේ දී සංචාරකයන්ට පනවා තිබෙන බාධා ඉවත් කිරීමට කටයුතු කරන ලෙසත් ඉල්ලා සිටියා.
ත්‍රස්තවාදී කටයුතු හමුවේ ආරක්ෂක අංශ සහ බුද්ධි අංශ විසින් සිදුකළ සාර්ථක මෙහෙයුම් පිළිබඳව ද මෙහිදී කරුණු පැහැදිලි කළ ජනාධිපතිවරයා එම කටයුතු සඳහා සියලූදෙනා දැක්වූ සහය පිළිබඳව ද ස්තූතිය පුද කළ අතර මෙහිදී අදහස් දැක්වූ තානාපතිවරු සහ මහකොමසාරිස්වරු කියා සිටියේ කුමන තැනක වුවද ත්‍රස්තවාදය දැඩි ලෙස හෙළා දකින බවයි.
තුර්කිය, මැලේසියාව, පකිස්ථානය, එක්සත් අරාබි රාජ්‍යය, ඇෆ්ගනිස්ථානය, ඉන්දුනිසියාව, සවුදි අරාබිය, පලස්තීනය, බංග්ලාදේශය, කුවේට්, කටාර්, මාලදිවයින, ඉරාකය, ලිබියාව, ඉරානය සහ ඕමානය යන රටවල් නියෝජනය කරමින් තානාපතිවරු සහ මහකොමසාරිස්වරු මීට එක්ව සිටියා.
එමෙන්ම ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න. විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් රවිනාත් ආරියසිංහ, ජනාධිපති අතිරේක ලේකම් ඇසළ වීරකෝන් යන මහත්වරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.