රග්බි ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතන සිද්ධියේ සාක්ෂි වසන් කළ බවට චෝදනා එල්ල වී සිටින හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාට අද (27) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා පත්‍ර භාර දීම සිදු කෙරුණා.
කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ඉදිරියේ මෙම අධිචෝදනා බාරදුන් අතර විත්තිකාර අනුර සේනානායක මහතා රුපියල් ලක්ෂ 20 ක් බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමටද අධිකරණය නියම කර සිටියා.
එමෙන්ම විත්තිකාර අනුර සේනානායක මහතා විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ තැන්පත් කර ඇති රුපියල් ලක්ෂ 10 ක මුදල් ඇපය මහාධිකරණයේ ඇපයක් වශයෙන් භාර ගැනීමට ද විනිසුරුවරයා අවසර ලබා දුන්නා.
විත්තිකරුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට භාර දිය යුතු බවත් අධිකරණයේ අවසරයකින් තොරව විදේශ ගතවීම තහනම් කරන බවත් විනිසුරුවරයා කොන්දේසියක් පනවනූ ලැබූ අතර
සාක්ෂිකරුවන්ට බලපෑම් හෝ තර්ජනය කිරීමෙන් වළකින ලෙසත් දැනට නියම කර ඇති ඇප කොන්දේසි වලින් එකක් හෝ කඩ කර ඇති බවට අධිකරණය සෑහීමකට පත්වන්නේ නම් දැනට නියම කර ඇති ඇපය අවලංගු කොට විත්තිකරු රිමාන්ඩ් භාරයට පත් කරන බවත් විනිසුරුවරයා විත්තිකරුට තරයේ අවවාද කළා.
එමෙන්ම විත්තිකරුගේ ඇඟිලි සලකුණු ලබාගෙන වාර්තාවක් කැඳවන මෙන් ද මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළ අතර නඩු විභාගය ඔක්තෝම්බර් මස 23 වන දා ආරම්භ කිරීමට නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එදින සාක්ෂි දීම සඳහා නඩුවේ සාක්ෂිකරුවන් ලෙස නම් කර සිටින නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති සුමිත් පෙරේරා ඇතුළු සාක්ෂිකරුවන් හය දෙනකු වෙත සිතාසි නිකුත් කරනු ලැබුවා.