දුම්රිය වර්ජනයෙන් මගීන්ට සිදුවන අපහසුතා පිළිබදව දුම්රිය දෙපාර්තමේන්තුව කොළඹ කොටුව පොලිසියට කළ පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙනවා.
ඉදිරියේදී මේ සම්බන්ධයෙන් අධිකරණ ක‍්‍රියාමාර්ගය ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකරන බවයි කොලඹ කොටුව පොලිසියේ ප‍්‍රකාශකයකු කියා සිටියේ.
දුම්රිය වර්ජනයෙන් මගීන්ට සිදුවන අපහසුතා පිළිබදව දුම්රිය දෙපාර්තමේන්තුව කොළඹ කොටුව පොලීසියට ලිඛිත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.ඒ් දුම්රිය අත්‍යාවශ්‍ය සේවාවක් බවට පත් කර ඇති පසුබිමක වර්ජනයේ නිරත වීම නීත්‍යානුකූල නොවන බව සදහන් කරමින්.
දුම්රිය වර්ජනයක් පැවතිය ද අද පෙරවරුවේ කාර්යාල දුම්රිය කිහිපයක් ධාවනයට එක් කර තිබෙනවා.
මහනුවර, රඹුක්කන, මහව, හලාවත,ගාල්ල, මාතර සහ අවිස්සාවේල්ල යන ප‍්‍රදේශ වල සිට දුම්රිය ගමන්වාර කිහිපයක් කොළඹ කොටුව බලා පැමිණි බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.
පස්වරුව වන විට තවත් දුම්රිය රැසක් ධාවනයට එක් කිරීමට කටයුතු යොදා තිබෙනවා. දුම්රිය වෘත්තීය සමිති ආරම්භ කළ වර්ජනය මේ වන විට ක‍්‍රියාත්මකයි.
ඊයේ මධ්‍යම රාත‍්‍රියේ ආරම්භ කළ වර්ජනය අද මධ්‍යම රාත‍්‍රී 12 ට අවසන් කරන බවයි වර්ජනයේ නිරත වෘත්තීය සමිති සදහන් කලේ.
දුම්රිය සේවයේ පවතින වැටුප් සහ ශ්‍රේණි විෂමතා මුල් කරගනිමින් මෙම වර්ජනය ආරම්භ කර තිබෙනවා. දුම්රිය සේවාව අත්‍යවශ්‍ය සේවාවක් කරමින් ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් යුතුව අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කලේ ඊයේ දිනයේ දීයි.
1979 අංක 61 දරණ අතවශ්‍ය මහජන සේවා පණතේ දෙවන වගන්තියෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව ගැසට් නිවේදනය නිකුත් කර තිබෙනවා.
ඒ යටතේ මගීන් හෝ භාණ්ඩ ප‍්‍රවාහන සේවා කාර්යක්ෂව හා අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය වන දුම්රිය ධාවනය / දුම්රිය හා දුම්රිය මාර්ග නඩත්තුව / සංඥා පද්ධති හා මෙහෙයුම් / ප‍්‍රවේශ පත‍්‍ර නිකුත් කිරීම ඇතුලූ දුම්රිය දෙපාර්තමේන්තුවෙන් සිදුකළ යුතු සියලූ සේවාවන් අත්‍යවශ්‍ය සේවාවක් කරන බව ගැසට් නිවේදනයේ සදහන්.
දුම්රිය සේවයේ පවතින වැටුප් සහ ශ්‍රේණි විෂමතා මුල් කරගිනිමින් දුම්රිය වෘත්තිය පැය 48 සංකේත වර්ජනයක නිරත වුණේ පසුගිය සති අන්තයේදීයි.
ඒ අනුව සිය ගැටලූවලට විසදුම් ලබාදෙන තෙක් සතියේ සෑම බ‍්‍රහස්පතින්දාවකම මධ්‍යම රාත‍්‍රී 12 සිට සිකුරාදා මධ්‍යම රාත‍්‍රී 12 තෙක් වැඩ වර්ජනයක නිරත වීමට දුම්රිය වෘත්තීය සමිති පසුව තීරණය කළා.
මේ අතර විශ‍්‍රාමික දුම්රිය එංජින් රියදුරන් / දුම්රිය නියාමකවරුන් / දුම්රිය ස්ථානාධිපතිවරුන් /සංඥා පරීක්ෂකවරුන් සහ මාර්ග පරීක්ෂකවරුන් අද කොළඹට කැදවා තිබෙනවා.