News Line| Off Air
Generic placeholder image

Jul
9

කුණු නිසා මාතර නගරයේ පාසල් වැසෙන ලකුණු

1558 Views


කුණු නිසා මාතර නගරයේ පාසල් වැසෙන ලකුණු

මාතර කසල ගැටලූවට විසඳුමක් නොලැබුණහොත් හෙට සිට මාතර නගරයේ පාසල් තාවකාලිකව වසා දැමීමට දකුණු පළාත් අධ්‍යාපන ලේකම්වරයාට තමා අවසර දෙන බව දකුණු පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා පවසනවා.

ආණ්ඩුකාරවරයා මේ බව සඳහන් කළේ ඊයේ මාතර දිස්ත‍්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට එක්වෙමින්.

මෙම කුණු ප‍්‍රශ්නය හේතුවන් රුහුණ විශ්වවිද්‍යාලය සහ පාසල් ගණනාවක දරුවන් පීඩාවට පත්ව ඇති බවට තමා වෙත පැමිණිලි ලැබී ඇති බවද ආණ්ඩුකාරවරයා පවසනවා. දරුවන්ගේ ජීවිත වටිනා බැවින් එම තීරණය ගන්නා බවයි ඔහු සඳහන් කළේ.

උද්ගතව ඇති තත්වය හමුවේ හෙට මාතර මහජන පොළ වසා දමන ලෙසද ආණ්ඩුකාරවරයා මාතර මහ නගර සභාවට නියෝග කර තිබෙනවා.

කසල ගැටලූව තවදුරටත් උත්සන්න වුවහොත් මාතර නගරය ජීවත් වීමට නුසුදුසු තත්වයට පත් වන බවත් ඊට වග කිව යුත්තන් ඉතා කඩිනමින් විසඳුමක් සපයා දිය යුතු බවත් දකුණු පලාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා අවධාරණය කර සිටිනවා.

කොටවිල කසල ප‍්‍රතිචක‍්‍රීකරණ කටයුතු ආරම්භ කිරීම සඳහා තමා විසඳුමක් ලබා දී තිබියදී මෙම තත්වය ඇති වී තිබෙන බවයි තෙන්නකෝන් මහතා කියා සිටින්නේ.

මාතර කොටවිල කසල අංගනය හේතුවෙන් පීඩාවට පත් වන බවට ප‍්‍රදේශවාසීන් ඉදිරිපත් කළ පැමිණිලි සම්බන්ධයෙන් මාතර අධිකරණයට කරුණු වාර්තා කර කොටවිල පොලිසිය විසින් මාතර මහ නගර සභාවට එරෙහිව නඩුවක් පවරා තිබුණේ මීට වසර එක හමාරකට පමණ ඉහතදීයි.

එම නඩුවේ තීන්දුව ඉකුත් 27 වැනි දින ප‍්‍රකාශ කළ අතර මාස තුනක කාලයක් එම අංගනයට කසළ බැහැර කිරීම වළක්වමින් හා කසළ ප‍්‍රතිචක‍්‍රීකරණය කිරීමට සුදුසු වාර්තාවක් සකසා ඉදිරිපත් කරන ලෙස ඉන් නියෝග කර තිබුණා.

කසළ බැහැර කිරීම සඳහා විකල්ප ස්ථානයක් නොමැති වීමෙන් මාතර මහ නගර සභාව පසුගිය 04 වැනිදා සිට කසළ ඉවත් කිරීම නවතා තිබෙනවා.


News Articles
Latest Videos
Most Popular Post