මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාළ නඩුවේ විත්තිකරුවන් අට දෙනෙකු අද ඇප මත මුදා හැරියා.
නඩුව අද කැදවනු ලැබුවේ සම්පත් අබේකෝන්, සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත කොළඹ ත‍්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේයි.
එහිදී නඩුවේ පළමුවන විත්තිකරු ලෙස නම් කර සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් සහ දස වන විත්තිකරු ලෙස නම් කර සිටින අජහාන් ගාර්දිය පුන්චිහේවා යන විත්තිකරුවන් අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ඔවුන් වෙනුවෙන් කිසිදු නීතිඥවරයකු ද පෙනී සිටියේ නැහැ.
අධිකරණය හමුවේ පෙනී සිටි විත්තිකරුවන් අට දෙනාට චෝදනා පත‍්‍ර භාරදීමෙන් පසුව ඔවුන් රුපියල් ලක්ෂ 10 බැගින්වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියම කළා
ඇප කරුවන් අතරින් එක් අයෙකු පවුලේ ඥාතියෙකු විය යුතු බවයි විනිසුරු මඩුල්ල නියෝග කලේ.
විත්තිකරුවන්ගේ විදේශ ගමන් තහනම් කළ විනිසුරු මඩුල්ල ඔවුන්ගේ විදේශ ගමන් බලපත‍්‍ර අධිකරණය වෙත භාරදිය යුතු බවට ද නියම කලා.
පැමිණිල්ල වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජෙනරාල් ප‍්‍රියන්ත නාවාන මහතා අධිකරණය හමුවේ ඉල්ලීමක් කරමින් සදහන් කලේ මෙම නඩුවේ ප‍්‍රධාන විත්තිකරු ලෙස නම් කර සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා වූ වරෙන්තුවක් නිකුත් කරන ලෙසයි.
අර්ජුන් මහේන්ද්‍රන් හිතාමතාම අධිකරණ ක‍්‍රියාවලිය මඟ හැරීමට උත්සාහ දරා ඇති බවට පෙනී යන හෙයින් ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස දන්වා වරෙන්තුවක් නිකුත් කරන මෙන් ද ඔහු අධිකරණයෙන් ඉල්ලීම් කළා.
පැමිණිලි පාර්ශ්වය විසින් සිදු කළ එම ඉල්ලීම් පිළිබඳ එම නියෝගය ලබන 24 වන දා ප‍්‍රකාශයට පත් කරන බවයි ත‍්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියම කළේ.