උසස් පෙළ හා සාමාන්‍ය පෙළ විභාග රාජකාරි කටයුතුවල නිරත ගුරුවරුන්ගේ සහ විදුහල්පතිවරුන්ගේ ගමන් වියදම් දීමනා මේ දක්වා ගෙවීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කර නැති බව ශ්‍රී ලංකා ගුරු සංගමය පවසනවා.
සාමාන්‍ය පෙළ විභාගය පැවතියේ 2018 දෙසැම්බර් මස වූ අතර, මේ වන විට මාස 7 ක කාලයක් ඉක්ම ගොස් තිබියදීත් අදාළ ගමන් වියදම් ගෙවා නැති අතර, 2019 උසස් පෙළ විභාගය ද අගෝස්තු මස දී පැවැත්වීමට නියමිතව ඇති බව එම සංගමයේ ප‍්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් සඳහන් කළා.
මීට අමතරව සෙසු විභාග රාජකාරි සඳහා දීමනා ගෙවන ලද්දේ ද අවස්ථා කිහිපයකදී ඉල්ලීම් කිරීමෙන් පසු බරපතළ ප‍්‍රමාද කිරීම් මධ්‍යයේ බව ප‍්‍රධාන ලේකම්වරයා කියා සිටි අතර විභාග රාජකාරි සඳහා කල් ඇතිව මුදල් වෙන් කර තිබියදී මෙසේ දීමනා ගෙවීම් ප‍්‍රමාද කිරීම වැරදි පූර්වාදර්ශයක් වන බව එ මහතා ප්‍රකාශ කළා.
විභාග රාජකාරි කටයුවල ගමන් වියදම් වෙනුවෙන් තමන්ගේ මුදල් වියදම් කර සිටින ගුරුවරු සහ විදුහල්පතිවරු මේ තත්වය තුළ බරපතල අපසුතාවන්ට ලක්ව ඇති බවයි ශ්‍රී ලංකා ගුරු සංගමය පවසන්නේ
මේ තත්වය තුළ විභාග රාජකාරි සඳහා වූ ගමන් වියදම් දීමනා කඩිනමින් ලබාදීමට කටයුතු කරන ලෙසත්, ඉදිරියේ දී පැවැත්වෙන විභාග සඳහා අදාළ දීමනා විභාග කටයුතු අවසන් වූ විගස ගෙවීමට කටයුතු යොදන ලෙසත් විභාග කොමසාරිස්වරයාගෙන් ලංකා ගුරු සංගමය ඉල්ලා සිටිනවා.