ජාතික පාසලක වසර තුනක සේවා කාලයක් සම්පූර්ණ කළ, සියලු ගුරුවරුන්ට තමා සේවය කරන පාසලටම තම දරුවන් ඇතුළත් කරගැනීමේ අවස්ථාව අධ්‍යාපන අමාත්‍ය, නීතීඥ අකිල විරාජ් කාරියවසම් මහතා විසින් සලසා දී තිබෙනවා.
ඒ අනුව මෙම ගුරුවරුන් වෙත දරුවන් ඇතුළත් කිරීමට අදාළ ලිපි ලබාදීම අධ්‍යාපන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් අද (29) අධ්‍යාපන අමාත්‍යාංශයේ දී සිදුකෙරුණා.
ඉගෙනුම් ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂමව පවත්වාගෙන යාමට ගුරුවරුන්ට යහපත් මානසිකත්වයක් ලබාදිය හැකිවිය යුතු බවත්, තමන් සේවය කරන පාසලට තම දරුවන් ද ඇතුළත් කරගැනීමට ගුරුවරුන් වෙත අවකාශ සලසාදුන් විට බොහෝ ගැටළු අවම කරගත හැකි බවත්, සමස්ත පාසල් දරුවන්ට වඩාත් හිතකර, හා ඵලදායී මෙහෙවරක් ලබාදීමට මෙම තීරණය හේතු වනු ඇති බවත් මෙහි දී අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළා.
දිවයිනේ ජාතික පාසල් 361ක ගුරුවරුන් 153 දෙනෙකු මේ යටතේ අදාළ සුදුසුකම් සපුරා තිබූ අතර, ඔවුන්ගේ දරුවන් 162 දෙනෙකුට පාසල් සඳහා අනුමත ලිපි ලබාදීම අද සිදුකෙරුණා.
සුදුසුකම් සපුරන ගුරුවරයා සිටින පාසල බාලක හෝ බාලිකා වන අවස්ථාවල දී තම දරුවා ඒ හේතුව නිසා ඇතුළත් කරගැනීමට ගැටළුවක් වන විට දැනට දරුවා ජාතික පාසලකට ඇතුළත් ව නොමැතිනම් පමණක් අදාළ ගුරුවරයා සේවය කරන පාසලට ආසන්නයේ ම ඇති ජාතික පාසලට ඇතුළත් වීමේ අවස්ථාව සලසාදීමද මේ යටතේ පහසුකම් සලසා දී තිබෙනවා.