සයිටම් ආයතනයේ වෛද්‍ය උපාධිධාරීන් සති තුනක් ඇතුළත ලියාපදිංචි කිරීමට පියවර ගන්නා මෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට නියම කර ඇති බව වාර්තා වෙනවා.
සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් වෛද්‍ය උපාධිය ලබාගත් එස්.එම්. හල්පෙ, ඩී.ටී. පඬුවාවල සහ කේ.පී. මාරපන යන අය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කළ බුවනෙක අලුවිහාරේ. ප්‍රීති පද්මන් සූරසේන සහ එල්.ටී.බී. දෙහිදෙණිය යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් මෙම තීන්දුව ලබා දී තිබෙනවා.
සයිටම් ආයතනයේ වෛද්‍ය උපාධිධාරීන් තිදෙනා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම්වල සඳහන් කර තිබුණේ සයිටම් ආයතනයෙන් වෛද්‍ය උපාධිය ලබාගත් උපාධිධාරීන් ලියාපදිංචි කරන ලෙස අභියාචනාධිකරණය විසින් රිට් ආඥාවක් නිකුත් කළ අතර එම රිට් ආඥාව ශ්‍රේෂ්ඨාධිකරණය මඟින් ද තහවුරු කළ බව ප්‍රකාශ කළ අතර එසේ තිබියදී ශ්‍රී ලංකා වෛද්‍ය සභාව හිතාමතාම තමන්ම ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කරමින් සිටින බවට චෝදනා කරමින් අදාළ උපාධිධාරීන් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.
මේ පිළිබඳව විභාගය පැවැත්වූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල සඳහන් කර සිටියේ පෙත්සම්කරුවන් වෛද්‍ය වෘත්තිය සඳහා ලියාපදිංචි නොකිරීම තුළින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මූලික අයිතීන් උල්ලංඝනයක් සිදු කර ඇති බවත් ශ්‍රී ලංකා වෛද්‍ය සභා පනතට අනුව ඔවුන්ට එසේ කටයුතු කිරීමට හැකියාවක් නොමැති බව පෙන්වා දුන් විනිසුරු සුරසේන මහතා අදාළ සිසුන් ලියාපදිංචි කරන ලෙස මීට පෙර අභියාචනය අධිකරණය මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ද නියෝග නිකුත් කර තිබූ බව සිහිපත් කළ අතර ඒ අනුව ඔවුන්ව සති තුනක් ඇතුළත වෛද්‍ය වෘත්තිකයන් වශයෙන් ලියාපදිංචි කිරීමට පියවර ගන්නා ලෙස නියෝග කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල පෙත්සම්කරුවන්ට නඩු ගාස්තු වශයෙන් රුපියල් ලක්ෂ දෙක බැගින් ගෙවන ලෙසද එම සභාවට කළ නියෝගය වැඩිදුරටත් සඳහන් වුණා.