දිවයිනේ උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් සුළඟේ වේගය විටින් විට පැ.කි.මී. 50-60 දක්වා වැඩිවීමේ හැකියාවක් පවතීන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්ම උතුරු සහ උතුරුමැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් සුළඟේ වේගය පැ.කි.මී. 70 දක්වා ක්ෂණිකව ඉහළ යාමේ හැකියාව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙනවා. අද(07) දිනයේ සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් බලාපොරොත්තු වන බව එම දෙපාර්තමේන්තුව පවසනවා.
මේ අතර බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි අතර මන්නාරම, යාපනය සහ අනුරාධපුර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවන අතර ඇතැම් ප්‍රදේශ වලට මි.මී. 75 ට වැඩි තරමක් තද වර්ෂාපතනයන් බලාපොරොත්තු විය හැකි බව එම දෙපාර්තුමේන්තුව සදහන් කරනවා. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන අතර ධීවර සහ නාවුක ප්‍රජාව මේ පිළිබඳව ඉතා අවධානයෙන් කටයුතු කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු ඉල්ලා සිටිනවා.