මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මහතා අප අතරින් වෙන්වී අදට වසර 23 ක් වනවා. ඔහු ශ්‍රී ලාංකික නාට්‍ය රචකයෙක්, නවකතාකරුවෙක්, කවියෙක්, සාහිත්‍ය විචාරකයෙක්, නිබන්ධකයෙක් සහ සමාජවිවේචකයෙක් ද වන්නේය. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ නාට්‍ය රචකයෙක් ලෙස සලකනු ලබන ඔහු අවුරුදු ගණනාවක්ම පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ජේෂ්ඨ කථිකාචාර්යවරයෙක් ලෙස ද ප්‍රංශයේ ශ්‍රී ලංකා තානාපතිවරයා ලෙස ද (1974 – 1977) සේවය කර තිබෙනවා.
එදිරිවීර සරච්චන්ද්‍ර මහතා 1914 ජුනි 3 වැනිදා උපත ලැබුවා. ඔහුගේ මූලික අධ්‍යාපනය ගාල්ලේ රිච්මන්ඩ් විද්‍යාලයෙන් ද, පානදුර ශාන්ත ජෝන් විද්‍යාලයෙන් ද, ගල්කිස්සේ ශාන්ත තොමස් විද්‍යාලයෙන් හා ගාල්ලේ ශාන්ත ඇලෝසියස් යන විද්‍යාලවලින් සම්පූර්ණ කර තිබෙනවා. ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ සිංහල, සංස්කෘත හා පාලි විෂයයන් හැදෑරූ අතර 1936 වර්ෂයේ ගෞරව සම්මාන සහිතව සිය උපාධිය ලබා ගත්තා.ඔහු වැල්ලවත්තේ ශාන්ත පීතර විද්‍යාලයේ ගුරුවරයෙකු ලෙස රැකියාව ආරම්භ කළ අතර පසුව ලේක් හවුස් ප්‍රකාශන ආයතනයේ පරිපාලන තනතුරට සම්බන්ධ වී තිබෙනවා. 1939 වර්ෂයේ දී ඔහු අයිලීන් බෙලන් සමඟ විවාහ වූ අතර ඉන්දියානු දර්ශනය හා සංගීතය හැදෑරීමට ශාන්ති නිකේතනය කරා ගියා. ඔහු 1940 දී නැවත ශ්‍රී ලංකාවට පැමිණ ගල්කිස්සේ ශාන්ත තෝමස් විද්‍යාලයේ නැවත ඉගැන්වීම ආරම්භ කළා. ඔහු සිංහල ශබ්ද කෝෂයේ උප සංස්කාරකවරයෙකු ලෙස කටයුතු කරන අතර තුර 1942 සිට 1944 දක්වා ලන්ඩන් විශ්ව විද්‍යාලයේ බාහිර ශිෂ්‍යයකු ලෙස ඉන්දියානු දර්ශනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය හදාරා තිබෙනවා. නැවත කොළඹ විශ්ව විද්‍යාලයට පැමිණ එහි පාලි කථිකාචාර්යවරයෙකු ලෙස 1947 සිට 1949 දක්වා සේවය කළ අතර 1949 වර්ෂයේ දී බටහිර දර්ශනය පිළිබඳ පශ්චාත් උපාධියක් හැදෑරීමට ලන්ඩන් විශ්ව විද්‍යාලයට ප්‍රවේශය ලබා ගත්තා.
සරච්චන්ද්‍ර මහතා 1956 වර්ෂයේ දී සිය ප්‍රථම නාට්‍යය වන මනමේ නිෂ්පාදනය කළා. එය විශේෂයෙන්ම සාම්ප්‍රදායික නාඩගම් නාට්‍ය කලාවේ ආභාසය සහිතව නිර්මාණය වීම පිළිබඳව පැසසුමට ලක් වී තිබෙනවා. ඔහු නාට්‍ය රචකයෙකු වශයෙන් දිගටම කටයුතු කළ අතර ඔහු විසින් නිෂ්පාදනය කෙරුණු සිංහබාහු (1961) නාට්‍ය ඔහුගේ හොදම නිර්මාණය ලෙස පුළුල්ව සලකා බැලීමට ද ලක්වුණා.
එමෙන්ම මළගිය ඇත්තෝ (1959), වල්මත් වී හසරක් නුදුටිමි(1962), මළවුන්ගේ අවුරුදු දා (1965) සහ තවත් බොහෝ නවකතාද කාලයාගේ ඇවෑමෙන් (1969), මායං රූපය (1974), රූප සුන්දරී (1984) වැනි කෙටි කතාද එතුමා විසින් රචනා කර තිබෙනවා.
1996 අගෝස්තු 16 දින මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයාණන් අප අතරින් වෙන්වුණා. ඒ ඔහුගේ 82 වන වියේදියි. ශ්‍රී ලාංකික නාට්‍ය රචකයෙක්, නවකතාකරුවෙක්, කවියෙක්, සාහිත්‍ය විචාරකයෙක්, නිබන්ධකයෙක් සහ සමාජවිවේචකයෙක් ලෙස ශ්‍රි ලාංකිකයන්ගේ හදවත් තුල නොමකෙන මතකයක් වන මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයානෙනි අප අතරින් වෙන් වූවද අපගේ මතකයෙන් කිසි දිනක ඔබ නොමැකෙනු ඇත.