News Line| Off Air
Generic placeholder image

Aug
19

මෙන්න මේ දේවල් ෆේස් බුක් දාන්න එපා

3539 Views


මෙන්න මේ දේවල් ෆේස් බුක් දාන්න එපා

එක්තරා තරුණියක් ඇය වැඩ කරන ආයතනයට දන්වනවා ඇයට අසනීප නිසා නිවාඩු ඕනේ කියල. ඉතින් ආයතනය ඇයට නිවාඩු දෙනවා. නමුත් ඇය ඇත්තටම කරන්නේ යාළුවන් එක්ක විනෝද චාරිකාවක් යාමයි. ඇය මේ චාරිකාවේ ෆොටෝස් ඇගේ ෆේස් බුක් ගිණුමේ පල කරනවා. අවාසනාවට ඇගේ ආයතනයේ ප්‍රධානියා මේක දකිනවා. ඉන් පසු වුන දේ ඔබට හිතා ගත හැකියි නේද ?

ඇගේ රැකියාව අහිමි වුණා. බොරුකාරයෙක් ලෙස අපකීර්තියට ලක් වුණා.

අද සමාජ මාධ්‍ය භාවිතාව නිසා ලෝකය උඩු යටිකුරු වෙලා. අපිට තේරුම්ගන්න බැරි වෙලා පුද්ගලික ජීවිතේ සහ පොදු ජීවිතේ අතර තිබෙන වෙනස මොකද්ද කියල. ගොඩක් මිනිස්සු තමන්ගේ ආවේගයන් පිට කරගන්න ෆේස් බුක් එක පාවිච්චි කරනවා. නමුත් ඒ නිසා වෙන හානි ගැන අවධානයක් නැහැ. එම නිසා ෆේස් බුක් එකේ පල කරන්න සුදුසු නැති දේවල් ගැන ඔබට කියා දෙන්නයි මේ සූදානම.

ඔබ සේවය කරන ආයතනයේ තොරතුරු

බොහෝ දෙනෙක් නොදැනුවත්කමට ආයතනයේ පාරිභෝගිකයෙක් එක්ක තරහා ගිහාම, ආයතනයේ සේවකයෙක් එක්ක ගැටුමක් ඇතිවුනාම නැත්නම් අලුතින් යමක් ආයතනය තුල සිදු වෙනවා නම් ඉක්මනට ෆේස් බුක් එකට දානවා. මේ වැඩේ කොයි තරම් දුරට හරිද කියල ඔබ හිතුවද? ෆේස් බුක් එකට දමන දේවල් ඔබේ පාරිභෝගිකයාගේ නැත්නම් ඔබේ ප්‍රධානියාගේ ඇස නොගැටේවි කියල කාටද කියන්න පුළුවන්?

ඔබ ආයතනයට විශාල පාඩුවක් විය හැකියි කුපිත වෙන පාරිභෝගිකයා ගනුදෙනු නවත්වා දැමුවහොත්. ඒ වගේම ඔබ ප්‍රධානියා එක්ක තිබෙන අමනාපය වෝල් එකේ දැම්මොත් වැඩි දවසක් යන්නේ නැහැ ඔහු/ඇය ඒ ගැන දැනගන්න. තමන් වැඩ කරන ආයතනයේ කිසිම තොරතුරක්, පුද්ගලයෙක් ගැන විවේචනයක් හෝ පැමිණිල්ලක් කිරීමට ෆේස් බුක් වෝල් එක නම් පාවිච්චි කරන්න එපා. එයින් ඔබට බරපතල හානි සිදුවිය හැකියි.

ඔබේ බාහිර පෙනුම වෘත්තිය ජීවිතේට බලපානවා

සමහරු නැන්දම්මට, නෑනට එහෙමත් නැත්නම් යාලුවට හෝ ස්වාමියාට වුනත් බනින්න විවේචනය කරන්න ෆේස් බුක් වෝල් එක පාවිච්චි කරනවා. ඔබ ඒ වෙලාවේ එන ආවේගයට එහෙම දෙයක් කළා වෙන්න පුළුවනි. ඒ වගේම සමහරු මේ දේවල් ගෘප් වල බෙදා ගන්නවා. හිතන්න ඔබ නැන්දම්මාට උසුළු විසුළු කිරීමට සමාජ මාධ්‍ය ගෘප් එකක පෝස්ට් එකක් දාල හැමෝම එක්ක නැන්දම්මට අපහාස කරා කියල. කෙනක් මේ ස්ක්‍රීන් ෂොට්ස් ඔබේ සැමියාට යවන්න පුළුවනි. නැත්නම් නැන්දම්මාගේ වෙනත් දරුවෙක්ට යවන්න පුළුවනි.

මෙයින් ඔබේ විවාහය වුනත් බිදී යා හැකි බව ඔබ හිතන්න ඕනේ. ඒ නිසා එක එක්කෙනාට අපහාස කරන්න, ඔබේ පීඩනය මුදා හරින්න ඕනේ නම් හොඳ යාලුවෙක් එක්ක කතා කරන්න. ෆේස් බුක් එකේ නම් බෙදා ගන්න එපා. එයින් ප්‍රශ්නය උග්‍ර වෙනවා මිස, ඔබේ ජීවිතයට කැළැල් වෙනවා මිස යහපතක් වෙන්නේ නැහැ.

ඔබ යන ගමන් බිමන්

හිතන්න ඔබ මාස කීපයකට විදේශ ගත වෙන්න ඉන්නේ. නැත්නම් ඔබ හදිස්සියේ නගරයෙන් පිට යන්න හදන්නේ. ඔබ කල්තියා ඒ ගැන ෆේස් බුක් දාල හැමෝම දැනුවත් කළා. මෙය ගේ බිඳින්න ඉන්න හොරෙක්ට හොඳ අවස්තාවක් නොවේවිද? ඒවගේ දේවල් ඕනේ තරම් වෙලා තිබෙනවා. එම නිසා ඔබ යන එන තැන් ගැන ෆේස් බුක් අප්ඩේට් කරද්දී දෙපාරක් හිතන්න.

ඔබගේ මූල්‍ය වත්කම්

ඔබට තිබෙන වාහන, ඔබේ නිවාස, බැංකු වල තිබෙන මුදල්, ඉඩම්, සංචිත වගේ දේවල් ගැන ෆේස් බුක් දාන එක ගොඩක් භයානක වැඩක්. මේවා දකින කෙනෙක්ට හිතෙන්න පුළුවනි ඔබේ දරුවෙක් පැහැරගෙන පහසුවෙන් කප්පම් මුදලක් ලබා ගන්නට. ඒ වගේ දේවල් දුර්ලභ වුනත් ඇයි අපි කරදර වලට අත වනන්නේ?

ඒ වගේම ඔබේ යාළුවො/ නෑදෑයන් ඔබෙන් මිල මුදල් ණයට ඉල්ලාවි. නොදුන්නොත් අමනාප වේවි. එම නිසා ඔබේ මූල්‍ය තත්වය ෆේස් බුක් දාන එකත් හොඳ වැඩක් නෙවෙයි.

අතිශය පුද්ගලික චායාරූප

සමහරුන්ට තේරෙන්නේ නැහැ ෆේස් බුක් එක කියන්නේ සමාජයක් කියල. එම නිසා ඇතැම් අය ඉතාම පුද්ගලික චායාරූප පවා ඇතුල් කරනවා. ඔබ ඒ විදිහට කඩේට යන්නේ නැත්නම්/ සමාජයට යන්නේ නැත්නම් ඒ ෆොටෝ ෆේස් බුක් එකටත් සුදුසු නැහැ.

කාමාතුරයන්ගේ ෆේස් බුක් ගොදුරු බවට පත්වන ෆොටෝ, වීඩියෝ ගැන අසන්න දකින්න ලැබෙන්නේ මෙන්න මේ සමාජය සහ පුද්ගලිකත්වය අතර සීමා නොදැන දේවල් අප්ලෝර්ඩ් කරහම තමයි.

 

 


News Articles
Latest Videos
Most Popular Post