පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට නැවතත් චෝදනා එල්ල වී සිටින පිට දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳව පරීක්‍ෂණය සඳහා ඉන්දියාවේ චෙන්නායි නුවර පරීක්‍ෂණාගාරයකට යොමු කිරීමට තීරණය කර තිබෙනවා..
කොළඹ පී. සරවනමුත්තු ක්‍රීඩාංගණයේදී අනිද්දා (22) ආරම්භ වන දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගයෙන් පසුව අකිල පරීක්‍ෂණය සඳහා චෙන්නායි බලා පිටත්ව යෑමට නියමිතයි.
ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී නවසීලන්තයට එරෙහිව පසුගිය ඉරිදා (18 වැනිදා) අවසන් වූ පළමු ටෙස්ට් තරගයේ කටයුතු කළ විනිසුරුවන් අකිලගේ පන්දු යැවීම නීති විරෝධී යැයි අන්තර්ජාතික ක්‍රිකට් සභාවට පැමිණිළි කිරීමෙන් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුවත් කර තිබෙනවා.
අකිල දින 14 තුළ අන්තර්ජාතික ක්‍රිකට් සභාව නම් කරන පරීක්‍ෂණාගාරයක් තෝරාගෙන එහිදී පරීක්‍ෂණයට සහභාගි විය යුතු අතර එහි ප්‍රතිඵලය අනුව ඔහුගේ පන්දු යැවීමේ අනාගතය තීරණය වනවා.
එමෙන්ම ඔහුගේ පන්දු යැවීමේ ඉරියව්ව නීති විරෝධී යැයි පරීක්‍ෂණයෙන් සනාථ වුවහොත් වසරක තහනමක් පැනවීමට ඉඩ පවතින අතර 25 හැවිරිදි අකිල මේ වන විට ටෙස්ට් තරග හයකදී කඩුලු 33 ක් දවාගෙන තිබෙනවා.
ගාල්ලේදී පසුගිය වසරේ නොවැම්බර් මස එංගලන්තයට එරෙහිව පැවැති ටෙස්ට් තරගයේදී අකිලට පන්දු යැවීමේ ඉරියව් නීති විරෝධී යැයි පළමු වරට චෝදනා එල්ල වීමෙන් පසුව එය සකස්කරගැනීමෙන් පසු මෙම වසර මුල නැවත පන්දු යැවීමේ අවස්ථාව උදාවුණා.