News Line| Off Air
Generic placeholder image

Aug
21

නව යුධ හමුදාපතිට යුරෝපා සංගමයේ විරෝධය

691 Views


නව යුධ හමුදාපතිට යුරෝපා සංගමයේ විරෝධය

ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා යුධ හමුදාපති ධුරයට පත් කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ කොමසාරිස්වරිය යොමු කර ඇති දැඩි අවධානයට පුර්ණ සහය ලබාදෙන බව යුරෝපා සංගමය පවසනවා.
නිවේදනයක් නිකුත් කරමින් යුරෝපා සංගමයේ කොළඹ පිහිටි කාර්යාලය පෙන්වා දෙන්නේ අදාල පත් කිරීම තුළින් සංහිදියාව කෙරෙහි ශ්‍රී ලංකාව දක්වන කැපවීම පසුබෑමකට ලක් වන බවයි.
පසුගිය මාර්තු මාසයේදී ශ්‍රි ලංකාව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට දැක්වු සහය පිලිබදව ද මෙම පත් කිරීම හරහා ගැටලු මතු වී තිබෙනවා.
බරපතල මානව හිමිකම් හා මානවවාදී නීති උල්ලංඝනය කිරීමේ චෝදනා එල්ල වන ශවේන්ද්‍ර සිල්වා මහතා යුධ හමුදාපති ධුරයට පත් කිරීම යුද්ධයෙන් පීඩාවට පත් ජනතාවට පීඩාකාරී පණිවිඩයක් වනු ඇති බවයි යුරෝපා සංගමය පවසන්නේ.
නව යුධ හමුදාපති ලෙස ශවේන්ද්‍ර සිල්වා මහතා පත් කිරීම සම්බන්ධයෙන් සිය කණගාටුව පල කරන බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය පසුගිය 19 වනදා ප්‍රකාශ කලා. නිවේදනයක් නිකුත් කරමින් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් මිෂෙල් බැචලේ පෙන්වා දුන්නේ අදාළ පත් කිරීම ගැටලු සහගත බවයි.
යුධ හමුදාපති ලෙස ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත් කිරීම පිළිබඳව ඇමරිකා එක්සත් ජනපදයේ කොළඹ තානාපති කාර්යාලය ද ප්‍රකාශයක් නිකුත් කළා. නව යුධ හමුදාපතිවරයා පත් කිරීම සම්බන්ධයෙන් ඇමරිකා එක්සත් ජනපදය දැඩි සැලකිල්ලෙන් පසුවන බව එහි සඳහන්.
විදේශීය පාර්ශව මෙරට අභ්‍යන්තර ක්‍රියාවලියට බලපෑම් කිරීමට උත්සාහ දැරීම යුක්ති සහගත නොවන බව විදේශ කටයුතු අමාත්‍යංශය ඊයේ ප්‍රකාශ කළා.
විදේශ කටයුතු අමාත්‍යංශය මේ බව සදහන් කළේ ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා යුධ හමුදාපති ධුරයට පත් කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර සංවිධාන නිකුත් කළ ප්‍රකාශයන් පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින්. ශ්‍රී ලංකාවේ යුද හමුදාපතිවරයා පත් කිරීම මෙරට රාජ්‍ය නායකයාගේ ස්වෛරී තීරණයක් බවත් රාජ්‍ය සේවයේ උසස්කිරීම් පිළිබඳ තීරණ හා අභ්‍යන්තරික පරිපාලනමය ක්‍රියාවලීන්ට බලපෑම් කිරීමට උත්සාහ දැරීම පිළිගත නොහැකි බවත් එහි සදහන්.
චෝදනා මත පදනම්ව, ඇතැම් ද්විපාර්ශ්වික හවුල්කරුවන් සහ ජාත්‍යන්තර සංවිධාන විසින් මෙම පත්කිරීම සැලකිලිමත් විය යුතු තත්ත්වයක් ලෙස පෙන්වා දෙනු ලැබීම කණගාටුවට කරුණක් බවයි විදේශ කටයුතු අමාත්‍යංශය සදහන් කළේ. එය ජාත්‍යන්තර ප්‍රජාවේ සියලුම වගකිවයුතු සාමාජිකයින් විසින් අනුගමනය කරනු ලබන ස්වාභාවික යුක්තියේ මූලධර්මවලට පටහැනි බවද විදේශ කටයුතු අමාත්‍යංශය ප්‍රකාශ කළා.
ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මෙරට 23 න් වන යුධ හමුදාපතිවරයා ලෙස පසුගිය 19 වනදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අතින් පත් වීම් ලබාගත්තා. නව යුධ හමුදාපතිවරයා අද සිය ධූරයේ වැඩ භාර ගැනීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post