News Line| Off Air
Generic placeholder image

Aug
21

නව හමුදාපති අද සිය ධූරයේ වැඩ අරඹයි

1623 Views


නව හමුදාපති අද සිය ධූරයේ වැඩ අරඹයි

නව යුද හමුදාපතිවරයා ලෙස පත් වූ යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සිය ධුරයේ වැඩ ආරම්භ කර ඇති බව වාර්තා වෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පසුගිය 18 වන දින සිට බලපැවැත්වෙන පරිදි මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පී.එස්.සී ලුතිනන් ජෙනරාල් නිලයට උසස් කර 23 වන යුද්ධ හමුදාධිපති ලෙස පත්කරණු ලැබුවා.

ඒ අනුව ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නව යුද්ධ හමුදාධිපති ලෙස පත්වන අවස්ථාව වන විට ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති සහ කමාන්ඩෝ රෙජිමේන්තුවේ රෙජිමේන්තු අධිපති මෙන්ම යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරය ද දැරූ අතර ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මාණ්ඩලික ප්‍රධානී ධූරයට පත්වීමට පෙර යුද්ධ හමුදා මූලස්ථානයේ විධායක ජෙනරාල් ධූරය ඇතුළු තවත් තනතුරු රැසක් හොබවා තිබෙන අතර හමුදා පුහුණුව සාර්ථකව නිම කිරීමෙන් අනතුරුව වර්ෂ 1985 නොවැම්බර් 16 වන දින අධිකාරියට පත්වූ එතුමන් ගජබා රෙජිමේන්තුව පිහිටවීමෙන් අනතුරුව ගජබා රෙජිමේන්තු නිලධාරීයෙකු ලෙස ප්‍රථමවතාවට පත් කරන ලද නිලධාරියා ද වෙනවා. එතුමා 1 වන ගජබා රෙජිමේන්තුවට ඇතුළත් කිරීමෙන් අනතුරුව, අණදෙන නිලධාරිතුමන් විසින් විශේෂ සේවා කණ්ඩායමේ (Special Service Group) කණ්ඩායම් භාර නිලධාරීවරයෙක් ලෙස සේවය කිරීමට අවස්ථාව ලබාදුන් අතර ශ්‍රී ලංකා යුද්ධ හමුදාව තුළ සිටින විවිධ පදක්කම්ලාභී නිලධාරී අතරින් එක් නිලධරීයෙකු වන ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අභීත නිලධාරීයෙකු සඳහා ප්‍රදානය කරන ලද ත්‍රිවිධ පදක්කම් වන වීර වික්‍රම විභූෂණය, රණවික්‍රම පදක්කම හා රණශූර පදක්කම් ආදී පදක්කම් ප්‍රථම වතාවට හිමිවූ දෙවන ලුතිතන්වරයා වශයෙන් යුද්ධ හමුදා ඉතිහාසයෙහි පිටු අතරට එක්වූ එඩිතර නිළධාරියෙක් වන අතර එතුමන් යුද්ධ හමුදා මූලස්ථානයේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ ජෙනරාල් සහ විධායක ජෙනරාල් තනතුරු ද දැරුවා.

එමෙන්ම ත‍්‍රස්තවාදීන්ට එරෙහි මෙහෙයුම් ඉතා තීරණාත්මක අවධියක පැවති සමයේ දී එවකට යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ගුවන් සංක්‍රමික බලසේනාවේ බලසේනාධිපති ලෙස එතුමන්ව පත් කරන ලදී. වර්ෂ 2006 අගෝස්තු මාසයේදී එතුමන් “ශ්‍රී ලංකාවේ ඉදිරි ආරක්‍ෂක පෙදෙස” ලෙස හැඳින්වූ මුහමාලෙයි ඉදිරි ආරක්‍ෂක වළල්ලෙන් කොටසක් එල්ටීටීඊ ත්‍රස්තවාදී පාලනය යටතේ පැවති අතර එය නැවත මුදාගැනීමට ද එතුමන් දායකත්වය දැක් වූ අතර එතුමන් විජයග්‍රාහී 58 වන සේනාංකයට සහ කමාන්ඩෝ බලසේනාවට අණදීම් සිදුකරමින් “වන්නි මානුෂීය මෙහෙයුම” තුළ වැඩිම ජයග්‍රහණ ප්‍රමාණයක් වාර්තා කරමින් ත්‍රස්තවාදයෙන් මවුබිම මුදවාගැනීමට පෙරමුණ ගෙන කටයුතු විශිෂ්ට අයෙකි.


News Articles
Latest Videos
Most Popular Post