ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු පුළුල් කිරීම වෙනුවෙන් මහජන චීන සමූහාණ්ඩුව මගින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලබා දුන් පී625 නෞකාව ඊයේ (22) පස්වරුවේ කොළඹ වරාය, නැගෙනහිර පර්යන්ත පරිශ්‍රයේ දී සන්නද්ධ හමුදා සේනාධිනායක, ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සුරතින් “ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රමබාහු” නමින් අධිකාරියට පත් කෙරුණා.
අභිනව නෞකාවේ අණදෙන නිලධාරි, කපිතාන් නලීන්ද්‍ර ජයසිංහ මහතා වෙත නෞකාව අධිකාරියට පත් කිරීමේ සන්නස් පත්‍රය ප්‍රදානය කිරීම ජනාධිපතිතුමා අතින් සිදු වුණා.
අනතුරුව “ශ්‍රී ලංකා නාවික නෞකා පරාක්‍රමබාහු” නමින් අධිකාරියට පත් කරන ලද නෞකාවේ නාම පුවරුව සහ නිල ලාංඡනය නිරාවරණය කිරීම සර්ව ආගමික ආශිර්වාද මධ්‍යයේ ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණා.
ජනාධිපතිතුමා නෞකාවේ නිරික්ෂණ චාරිකාවක ද නිරත වූ අතර, නාවික හමුදාපතිතුමා විසින් නෞකාවේ මෙහෙයුම් සූදානම, සැකසීම ක්‍රියාකාරිත්වය පිළිබඳව පිරිස දැනුවත් කර තිබෙනවා.
1994 වර්ෂයේ නිෂ්පාදනය කර ඇති මෙම නෞකාව දිගින් මීටර් 112ක් සහ පළලින් මීටර් 12.4ක් වන අතර, එහි ධාරිතාව ටොන් 2300ක්. නෞකාවේ නිලධාරින් 18 දෙනෙකු ඇතුළු 110 දෙනෙකුගෙන් යුත් කාර්ය මණ්ඩලයක් රාජකාරී කරනු ලබනවා. එය ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා කණ්ඩායමට එක් වූ පසු ශ්‍රී ලංකාවට අයත් ගැඹුරු මුහුදු කලාපය තුළ සෙවීමේ සහ මුදවා ගැනීමේ මෙහෙයුම්, සාගර සම්පත් ආරක්ෂා කිරීම සහ නාවික කටයුතුවල නිරත වන නෞකා සහ යාත්‍රා වෙත සහන සැපයීම සදහා යොදා ගැනීමට නියමිතයි.