News Line| Off Air
Generic placeholder image

Aug
27

තෙවැනි පාසල් වාරයේ සිට ප්‍රමිතියෙන් තොර පාසල් ආපන ශාලා සම්බන්ධයෙන් දැඩි පියවර

783 Views


තෙවැනි පාසල් වාරයේ සිට ප්‍රමිතියෙන් තොර පාසල් ආපන ශාලා සම්බන්ධයෙන් දැඩි පියවර

පාසල් දරුවන්ගේ කායික හා මානසික සංවර්ධනය සම්බන්ධයෙන් මෑතකාලීනව සිදුකළ අධ්‍යයන තුළින් අනාවරණය වී ඇත්තේ ඔවුන් විවිධ පෝෂණ ගැටළුවලට ගොදුරු වී සිටින බවයි.

නිවැරදි ආහාර පුරුදුවලට දරුවන් යොමු කළ හැකි අයුරින් පාසල් ආපන ශාලා පවත්වාගෙන යාම සම්බන්ධව අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් නිලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබෙනවා.

ඒ අනුව පාසල් තුළ සෞඛ්‍යාරක්ෂිත ආපන ශාලා පවත්වාගෙන යාම සම්බන්ධ ව අංක 35/2015 දරන 2015-12-31 දිනැති චක්‍රලේඛය මේ වනවිටත් සියලු පාසල් ප්‍රධානීන් වෙත නිකුත් කර ඇති බව සදහන්.

මෙම චක්‍රලේඛය අනුව, සියලු පාසල් ආපන ශාලා ක්ෂණික ආහාර, හා කාබනීකෘත බීම වෙනුවට ජාතික පෝෂණ ප්‍රතිපත්තියට අනුව නිසි පෝෂණ අවශ්‍යතා ආවරණය කෙරෙන ප්‍රමාණාත්මක හා ගුණාත්මක බවින් යුත් ආහාර ලබාදීමට සහතික විය යුතු අතර සාධාරණ මිළ ගණන් යටතේ දරුවන්ට එම ආහාර ලබාගැනීමේ අවස්ථාව ද සැලසිය යුතු බවට නියම කර තිබෙනවා.

පාසල් ආපන ශාලා පවත්වාගෙන යාම හා අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය පාසල් සංවර්ධන සමිතියට පැවරෙන අතර එහි දී ආහාර පනතේ විධිවිධාන, පාරිභෝගික කටයුතු පිළිබඳ පනත හා එහි විධිවිධාන කෙරෙහි සැලකිලිමත් වීම, ආහාර සකස් කරන්නන්, ආහාර සපයන ස්ථාන, භාවිත කරන උපකරණ ආදියෙහි පවිත්‍රතාව පිළිබඳ සහතික වීම, අධික තෙල්, අධික සීනි සහ අධික ලුණු සහිත ආහාර ‍අ‍ලෙවි නොකිරීම ආදී කරුණු කෙරෙහි පූර්ණ අවධානය යොමු කරන ලෙස අදාළ චක්‍රලේඛයෙන් පාසල් සංවර්ධන සමිතිවල වගකීම පෙන්වනු ලබනවා.

නිසි ප්‍රමිතියකින් යුක්ත ව පාසල් ආපන ශාලා ක්‍රියාත්මක වන්නේ ද යන්න සොයාබැලීම පිණිස පසුගියදා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ ද සහයෝගය ලබාගනිමින් පාසල් ආපන ශාලා නියාමනය‍ට ලක්කර තිබෙනවා.

ඒ අනුව, මහජන පරීක්ෂවරුන්ගෙන් අදාළ එක් එක් පාසල්වල ආපන ශාලා සම්බන්ධ වාර්තා කැඳවා ඇති අතර, එළඹෙන තෙවැනි පාසල් වාරය ආරම්භයේ සිට නිසි ප්‍රමිතියට ක්‍රියාත්මක නොවන ආපන ශාලා සම්බන්ධයෙන් දැඩි පියවර ගැනීමට නියමිතයි.


News Articles
Latest Videos
Most Popular Post